brand logo
logo
සම්බාධක මැද ඉරානය ඩොලර් බිලියන 2ක යුද උපකරණ ගෙන්වලා

සම්බාධක මැද ඉරානය ඩොලර් බිලියන 2ක යුද උපකරණ ගෙන්වලා

30 October 2026


අමෙරිකානු නාවික අවහිරතා සහ බටහිර රටවල සම්බාධක මඟහරිමින්, ඉරානය රහසිගත ජාත්‍යන්තර ජාලයක් හරහා ඩොලර් බිලියන දෙකකට අධික වටිනාකමකින් යුතු යුද උපකරණ ඇතුළු භාණ්ඩ ගෙන්වාගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.


2025 ජනවාරි මාසයේ සිට 2026 ජුනි මාසය දක්වා කාලය තුළ මෙම ජාලය හරහා පුපුරණ ද්‍රව්‍ය, මිසයිල සහ ඩ්‍රෝන නිෂ්පාදනයට අවශ්‍ය කොටස් මෙන්ම බර වාහනද ඉරානයට ගෙන්වාගෙන ඇති බව එම වාර්තාවල සඳහන් වෙයි.


මේ අතර, බරපතළ යුද්ධයක් හමුවේ විදුලි සැපයුම්, චන්ද්‍රිකා තාක්ෂණය, සහ ගෝලීය සැපයුම් ජාල බිඳවැටුණද, සිය හමුදා කඳවුරු පවත්වාගෙනයාමේ ක්‍රමවේදයක් සඳහා වන නව ආරක්ෂක සැලැස්මක් අමෙරිකාව සකස් කරමින් සිටියි.


එය නම් කර ඇත්තේ ‘ෆෝට්‍රස්’ නමින් බව විදෙස් වාර්තා පවසයි.


අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බලශක්ති, ස්ථාපනයන් සහ පරිසරය පිළිබඳ සහකාර ආරක්ෂක ලේකම් ඩේල් මාර්ක්ස් පවසා ඇති පරිදි මෙම වැඩපිළිවෙළ යටතේ, අමෙරිකාවේ ප්‍රධාන හමුදා කඳවුරු 200කට ආසන්න සංඛ්‍යාවක් දින 30ක් දක්වා බාහිර පහසුකම්වලින් තොරව ස්වාධීනව ක්‍රියාත්මකවීමට සූදානම් වන බව සඳහන් වෙයි.


මෙම සැලසුමට විදුලිය නිපදවාගැනීම සඳහා වන කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක, බාහිර අන්තර්ජාලයෙන් වෙන්වූ ආරක්ෂිත පරිගණක ජාල මෙන්ම සංඥා අවහිර කිරීම්වලට ඔරොත්තුදෙන සන්නිවේදන පහසුකම් ස්ථාපිතකිරීමේ සැලසුම්ද ඇතුළත් වෙයි.


මේ අතර අමෙරිකාව පසුගිය සතිය තුළ පමණක් සිය හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා 10කට වැඩි සංඛ්‍යාවක් ඊශ්‍රායල ගුවන්හමුදා කඳවුරු වෙත යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණ කරයි.


මීට අමතරව, පසුගිය දින කිහිපය තුළ අමෙරිකානු හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ජෝර්දානය, සෞදි අරාබිය, කටාර් සහ කුවේට් යන මැදපෙරදිග රටවල පිහිටි අමෙරිකානු කඳවුරු වෙතද ගමන‍්කර ඇති බවද එම වාර්තාවල සඳහන් වෙයි.

 

More News..