brand logo
logo
ලෝක දේශපාලන ආර්ථිකය තුළ චීනය

ලෝක දේශපාලන ආර්ථිකය තුළ චීනය

31 July 2025 | කථිකාචාර්ය දිලිනි ගමගේ - කැලණිය විශ්වවිද්‍යාලය

ලෝක ආර්ථිකය ප්‍රධාන වශයෙන් මිශ්‍ර ආර්ථිකය, ධනවාදී ආර්ථිකය හා සමාජවාදී ආර්ථිකය ලෙස බෙදා වෙන් කළ හැකිය. චීනය ගත්විට සමස්ත ලෝක ආර්ථිකයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඇති මූල්‍ය වටිනාකම් වලට හිමිකම් කියයි. චීනයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ජාතික වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන්ද ප්‍රසාරණය වී ඇත.


ලෝක ආර්ථික දැක්ම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරේ වාර්තාවලට අනුව චීන ආර්ථික වර්ධන පුරෝකථනය 4.6% දක්වා ඉහළ නංවාගෙන තිබේ. එය පසුගිය වසරේ ඔක්තෝබර් මස පුරෝකථනය කළ ප්‍රතිශත අගයට වඩා 0.1% ඉහළ යාමකි. 


වසර 1405 සිට 1433 දක්වා ලොව විශාලතම වෙළඳ හා යුධ නැව් සමූහයේ අයිතිය පැවතියේ චීන ජාතිකයන්ටයි. චීන ජාතිකයන් මාලිමා යන්ත්‍රය, වෙඩි බෙහෙත් හා මුද්‍රණ ශිල්ප ක්‍රමය හදුන්වා දෙමින් ලොව වේගවත් සංවර්ධනයකට පසුබිම නිර්මාණය කලේය. ඉන්දියන් සාගරයේ සිට නැගෙනහිර අප්‍රිකාව දක්වා චීන සංස්කෘතිය හා දැනුම පතුරවාලීමටත්, විදේශ වෙළෙඳ කටයුතු ශක්තිමත් කර ගැනීමටත්, එකල නාවික අද්මිරාල් ෂෙන් හේ ගේ අණසක යටතේ හැකි විය. නමුත් 1934 දී බලයට පත් වූ මින් අධිරාජ්‍යයා චීනයේ පැවති ජයග්‍රාහී අන්තර්ජාතික වෙළඳාම දැඩි සංවෘත ආර්ථික රටාවකට පරිවර්ථනය කරන ලදී. මුහුදු ගමන් හා විදේශ වෙළඳාම රටේ ආර්ථිකයට විශාල පිරිවැයක් එක්කරන බවත් එම කටයුතු රටේ සංවර්ධනයට විශාල හානියක් බව ප්‍රකාශ කරන ලදී. එම නිසා රටේ අභ්‍යන්තර ආරක්ෂාව ප්‍රමුඛත්වය දිය යුතු බවත් සාගර ගවේෂණය හා වෙළඳ කටයුතු සම්පූර්ණයෙන් නවතාලිය යුතු බවත් ඔහුගේ අදහස විය.


මේ අතරම මහා බි්‍රතාන්‍යය සිය අබිං වෙළඳාම චීනයේ ජනතාව අතර ප්‍රචලිත කොට ආර්ථික ලාබ ලබා ගැනීමට කටයුතු කරන ලදී. චීන ජාතිකයින් අබිං පානයට ඇබ්බැහිවීම චීන ආර්ථිකයට විශාල බලපෑමක් එක් කළ අතර 1839 මාර්තු මස චිං රාජ වංශය (Qing Empire) අබිං විරෝදී සංග්‍රාමයක් ආරම්භ කරන ලදී. 


19 වන ශතවර්ශයේදී චීනය නැවත විදේශ වෙළඳාම හා විවෘත ආර්ථික රටාවකට යොමු වීමට කටයුතු කරන ලදී. නමුත් රට තුළ පැවැති අභ්‍යන්තර බෙදීම් හා ආර්ථික දරිද්‍රතාවය නිසා ආර්ථික සංවර්ධන ඇති කිරීම ඉතාම අපහසු විය. 1947 මාවෝ සේතුන් රටේ විවිධ ජන බලවේග සංවිධානය කරමින් විප්ලවයක් හරහා චීන ජනරජය ස්ථාපිත කළේය. ඔහුගේ ඒකාධිපති පාලනය යටතේ සෞඛ්‍ය හා කෘෂිකර්මාන්තය වැනි අංශවල යම් ප්‍රගතියක් ඇති වුවද ඔහු ගත් ඇතැම් තීරණ නිසාවෙන් අර්බුද රාශියකට මුහුණ දීමට රට වැසියන්ට සිදු විය. 


1959 සිට 1961 දක්වා කාලය තුළ මිලියන 10 සිට 40 දක්වා චීන ජාතිකයන් සාගතයෙකුට ගොදුරුව මරණයට පත්විය. 1976 මාවෝ සේතුන් මිය යාමත් සමඟ සමූහ ගොවිපළ සංකල්පය බිඳ වැටුණි. 


ටෙන්ග් ෂියා පින්ග් (Deng Xiaoping) ගේ ඉදිරි ආර්ථික දර්ශනය චීන ජනතාවගේ ජීවන මට්ටම යහපත් තැනකට පත් කිරීමට හැකි විය. ඔහු 1976 එක්සත් ජනපදය සමඟ චීන රාජ්‍ය සබඳතා නැවත ඇති කර ගැනීමට කටයුතු කරන ලදී. අබින් හමුවේ නිදා සිටි චීන යෝධයා ක්‍රම ක්‍රමයෙන් අවදි වූයේ මෙම ආර්ථික වර්ධනයත් සමඟිනි. බටහිර සරසවි වල උගත් චීන ආර්ථික විද්‍යාඥයින්ගේ හා අනෙකුත් තාක්ෂණික විද්‍යාඥයින්ගේ උපදෙස් ලබාගත් ෂියා පින්ග් යුරෝපා තාක්ෂණය තම රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම උදෙසා ඥානාන්විතව යොදා ගන්නා ලදී. කෘෂි අතිරික්තයක් ඇති කර ගනිමින් එය කාර්මික සංවර්ධනය තීව්‍ර කිරීම සඳහා යොදා ගන්නා ලදී. ස්ථීර රැකියා ඇති එහෙත් ඵලදායී නොවූ රාජ්‍ය අංශය චීන ආර්ථිකයට විශාල බරක්ව පැවති හෙයින් පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දමා හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන ලදී. පුද්ගලික අංශවල රැකියා ප්‍රමාණය 80% දක්වා වැඩි කල අතර චීනය මුළු ලෝකයේම වැඩ බිම බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන ලදී. 


London School of Economy ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව 1978 දී චීනය සතුව පැවැති මුළු අපනයන වටිනාකම වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් පමණය. එය ලෝක වෙළඳපොළ තුළ 1% ප්‍රතිශතයකි. 1985 වන විට චීනයේ සමස්ත අපනයන්හි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 25 දක්වා ඉහළ අගයක් වාර්තා කළේය. තවත් දශක දෙකකට පසුව අපනයන ආදායම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.3 දක්වා ඉහළ ගියේය.


ක්‍රම ක්‍රමයෙන් ලොව වේගවත් ආර්ථික වර්ධන වේගය ඇති රට බවට චීනය පත් විය. නව බල ශක්ති ව්‍යාපෘති හඳුන්වා දෙමින්, නව තාක්ෂණික දැනුම රටේ සංවර්ධන ක්‍රියාවලියට එකතු කර ගැනීමට චීනය කටයුතු කරමින් සිටී. බ්‍රහ්ම පුත්‍ර ගංගාව හරස් කරමින් ජල විදුලිය උත්පාදනය කිරීම සඳහා දැවැන්ත වේල්ලක් ඉදිකිරීමට කටයුතු කිරීම මෙයට හොදම උදාහරණයයි. ඉදිකිරීම් අවසන් වූ පසු විදුලිය උත්පාදනය සඳහා ඉදිකරන ලද ලොව විශාලතම වේල්ල බවට මෙය පත් වෙයි. චීනයේ බටහිර කලාපය සංවර්ධනය කිරීමත් ආසියාව තුළ භූ දේශපාලනිකව බලය තහවුරු කර ගැනීමත් මෙහි ප්‍රධාන අරමුණයි.

මීට අමතරව රට තුළ පවතින විදේශ ප්‍රතිපත්ති ඉතා සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම චීනය කටයුතු කරයි. පසුගිය දශක දෙකක කාලය තුළ චීනය සහ අප්‍රිකාව සමග සිදු කරන වෙළෙඳ කටයුතු දැවැන්ත ලෙස ඉහළ නංවා ඇත. සෑම වසර තුනකට වරක් පවත්වනු ලබන චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සම්මේලනය හරහා මෙය ක්‍රියාත්මක කරයි. මෑතකදී, චීනය අප්‍රිකාවට චීනයේ අධිතාක්‍ෂණික සහ “හරිත ආර්ථික” නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් සපයීමට කටයුතු කිරීම විශේෂිත වේ. 


වර්තමානයේ ලෝක පර්යාය තුළ බලය හා මූල්‍යමය ශක්තිය ආසියාව වටා ඒකරාශී වීම මෙහි ඇති විශේෂත්වයයි. ඉතිහාසය වෙනස් කරමින් වර්තමානයේ චීනය තම බලය දිනා ගැනීමටත්, බලය ව්‍යාප්ත කිරීමටත් එම බලය තහවුරු කරගැනීමටත් කටයුතු කරමින් සිටී. ඒ නිසාම යුරෝපය ඇතුලු බටහිර රටවල් කෙතරම් බලපෑමක් කලද ජනාධිපති ෂි ජින්පින්ගේ අදහස වන්නේ ”‍චීනය සෙලවිය හැකි වෙනත් බලවේගයක් ලොව නැත”‍ යන්නයි,

 

More News..