සේවකයන්ට හා ප්‍රජාවන්ට තීරණ ගැනීමේ අවස්ථා හිමිවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි
25 November 2026
සේවකයන්ට හා ප්‍රජාවන්ට තීරණ ගැනීමේ අවස්ථා හිමිවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි
25 November 2026
ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා වන සමාජ සංවාදය ව්‍යාපෘතිය ඔස්සේ, සේවකයන්ට මෙන්ම ප්‍රජාවන්ට ද සිය ගැටලු ඉදිරිපත් කිරීමටත්, සිය ජීවිතවලට බලපාන තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමටත් අවස්ථාව තිබිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය අංශයේ සංවාදය වෙනුවෙන් වන ප්‍රථම ජාතික රාමුව ස්ථාපිත කරමින්, රාජ්‍ය සේවය තුළ සමාජ සංවාදය පිළිබඳ ප්රකාශනයක් සම්මත කරගෙන ඇති බවය.
මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කරන එම නිවේදනය, ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය අතරතුර ඉහළ ගිය බදු සහ භාණ්ඩ මිල ගණන්, මිලදී ගැනීමේ ශක්තිය හීන වීම සහ දිගින් දිගටම පැවති දරිද්‍රතාව නිසා පවුල්වලට එල්ල වූ පීඩනය තවදුරටත් පවතින බව ද සඳහන් කරයි.
සංවාදය මඟින් ගැටලුවලට විසඳුම් සෙවීමටත්, ගැටුම් උත්සන්න වීම වැළැක්වීමටත්, සැමගේ සහභාගීත්වයෙන් යුතු ආර්ථික පුනර්ජීවනයකට සහාය වීමටත් මෙම ව්‍යාපෘතිය හරහා රජය, සේවායෝජකයන්, සේවකයන් සහ ප්‍රජාව එක් කර ඇති බව සඳහන් වේ.
මෙරට ආර්ථික පුනර්ජීවනය තුළින් වඩාත් හොඳ රාජ්‍ය සේවාවක්, සේවා ස්ථානවල වඩා සාධාරණ වාතාවරණයක් සහ සිය අනාගතය සකස් කර ගැනීමට ජනතාවට වැඩි ඉඩකඩක් ලැබිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගැටලු උග්‍ර වී සමාජ බෙදීම් බවට පත්වීමට පෙර ඒවා විසඳා ගැනීම සඳහා ජනතාව ඒකරාශී කරමින් සංවාදයක් ගොඩනැඟිය යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.
එමෙන්ම, ජනතාවගේ අදහස්වලට සවන් දීමෙන් පමණක් සෑහීමකට පත් නොවී, ඔවුන් ඉදිරිපත් කරන ගැටලු වෙනුවෙන් ක්‍රියා කිරීමේ වගකීම පවතින බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත.


