ආපදාවෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව තවත් ඉහළට
06 December 2025
ආපදාවෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව තවත් ඉහළට
06 December 2025
දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් අවතැන්වූ එක් ලක්ෂ 52,537 දෙනෙකුට සහන සැලසීම අඛණ්ඩව සිදුවන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවුල් 43715 කට අයත් එම පිරිස මේ වන විට රඳවා ඇත්තේ, සුරක්ෂිත මධ්‍යස්ථාන 1211 කය.
කෙසේ වෙතත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ මතුරට සහ කොත්මලේ ප්‍රදේශවල ගම්මාන කිහිපයක් වෙත මෙතෙක් ප්‍රවේශ පහසුකම් ලබාදීමට නොහැකිවී ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කලේ, එම ප්‍රදේශවල ජනතාවට ගුවන් මගින් සහ පාගමනින් ගොස් සහන ලබාදීමට පියවර ගනිමින් සිටින බවය.
අදාල ප්‍රදේශවල පවතින නායයාම් අවදානම් නිරීක්ෂණය කර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් වාර්තාවක් ලබාගන්නා බවද ඇය ප්‍රකාශ කලාය.
ආපදාවලින් මියගිය සංඛ්‍යාව 607ක්.
පුද්ගලයින් 214 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.
නිවාස 67505 කට අර්ධ හානි සිදුව ඇති අතර පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 4164 ක්.
මේ අතර දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ආපදාවට ලක්වූ ජනජීවිතය යථාවත් කිරිමේ වැඩ කටයුතු තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකය.
ඒ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා සහන සේවා කණ්ඩායම්, හා ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් වූ කණ්ඩායම් මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් පැමිණි හමුදා හා සහන සේවා කණ්ඩායම්වල සහභාගිත්වයෙන්.
ඔවුන් දිවා රෑ නොබලා විපතට පත් ප්‍රෙද්ශවල මාර්ග, විදුලිය ජල සැපයුම් ආදී යටිතල පහසුකම් ගොඩනැගිම හා ජනතාවගේ පහසුකම් සැලසීමට පියවර ගනිමින් සිටී.
මේ අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් අද පස්වරුවේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල අද පස්වරුවේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.
මේ අතර සුළු වර්ෂාවකදී පාවා ආපදා තත්ත්වයක් ඇති විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ ප්‍රකාශ කළේ ය.

