brand logo
logo
දැනට පවතින ගෑස් සැපයුම් ගැටලුව ගැන ලිට්‍රෝ වෙතින් දැනුම්දීමක්

දැනට පවතින ගෑස් සැපයුම් ගැටලුව ගැන ලිට්‍රෝ වෙතින් දැනුම්දීමක්

16 October 2026

රට තුළ පවතින ගෑස් සැපයුම් ගැටලුව සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.


එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ ඇති වූ සැපයුම් බාධාවන් කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන ඇති බවය.


අද (16) දිනය වන විට ගෑස් සැපයුම සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් GAS GOODWILL නෞකාවේ ගොඩබෑමේ කටයුතු සිදු කරමින් පවතින බවද ඔවුන් සඳහන් කර ඇත.


එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ දෛනික අවශ්‍යතාවයට ද වඩා වැඩි ප්‍රමාණයක් වන කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ත් 100,000ත් අතර ප්‍රමාණයක් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ගෑස් පිරවීමේ සහ බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බවත් සමාගම සිය නිවේදනය මගින් දැනුම්දී තිබේ.


තවද මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව එළැඹෙන 18 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බවත් මෙම සැපයුම් තොග ලැබීමත් සමග රට තුළ ගෑස් සැපයුම තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳපොළට සාමාන්‍ය පරිදි ගෑස් බෙදා හැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම සිය නිවේදනය වැඩිදුරටත් දැනුම්දී ඇත.

 

More News..