හොරොයින් සමඟ 'බෝධියවත්තේ අවිශ්ක'ගේ මත් කල්ලියේ සැකකරුවන් 6ක් අත්අඩංගුවට
15 October 2026
හොරොයින් සමඟ 'බෝධියවත්තේ අවිශ්ක'ගේ මත් කල්ලියේ සැකකරුවන් 6ක් අත්අඩංගුවට
15 October 2026
පොල්ගස්ඕවිට, හල්පිට ප්රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් හෙරොයින් මත්ද්රව්ය ජාවාරමේ හා පැකට් කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු රුපියල් ලක්ෂ 56කට ආසන්න වටිනා හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
කැස්බෑව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කේ.පී. කලන්සූරිය මහතාට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 112ක්, විද්යුත් තරාදියක් සහ මත්ද්රව්ය ඇසුරුම් කිරීමට යොදාගන්නා රතු ඉන්දියානු ජාතිකයකුගේ ලාංඡනය සහිත කුඩා කඩදාසි තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූවන් අතර අඹුසැමි යුවළක් ද වන බව පොලීසිය පවසයි.
මෙම පිරිස අතර මීට මාස කිහිපයකට ඉහතදී බොරලැස්ගමුව ප්රදේශයේ නිවසකට කඩා වැදී කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක ප්රධාන සැකකරුවෙක් ද වන බව සඳහ්න වෙයි.
මීට අමතරව, තවත් සැකකරුවෙකුට සොරකම්, කොල්ලකෑම් සහ මත්ද්රව්ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින අතර, අනෙකුත් සැකකරුවන්ද විවිධ අපරාධ චෝදනා ලැබූවන් බව පොලීසිය අනාවරණය කරයි.
ප්රධාන සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන 'බෝධියවත්තේ අවිශ්ක' නැමැත්තාට මෙම මත්ද්රව්ය තොගය අයත් බවයි.
එම ප්රධාන ජාවාරම්කරු ලබාදෙන දුරකථන උපදෙස් මත මත්ද්රව්ය විවිධ ස්ථානවල බෙදාහැරීමේ ජාලයක් මොවුන් පවත්වාගෙන ගොස් ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත අතර, කැස්බෑව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

