මහාවංශය කැටුව ගිය මහ හෙළ කත
02 July 2025
මහාවංශය කැටුව ගිය මහ හෙළ කත
02 July 2025
විදුදය සරසවියෙහි ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම සුධීමතියගේ වියෝව අපගේ හදවත සංවේගයට පත් කරයි.
එයට හේතුව එකී වියෝව හරබර, සාර පූර්ණ, ඥාන ගවේෂණයෙහි ලා සතතාභ්‍යාස කළ විශිෂ්ටතම ශාස්ත්‍රවන්තයන්ගේ පරපුරක අවසානය සනිටුහන් කරන හෙයිනි. මහැදුරු මාලනිය හුදෙක් පොතපතට පමණක් සීමා වූ ග්‍රන්ථවාසි විද්වතියක් නොවූවාය. ඇය සමාජ ඥාන සංවාදයෙහිලා සිය දායකත්වය නිරන්තරයෙන් දැක්වූ එහිලා නොයෙක් වගකීම් දැරූ විද්වතියක් වූවාය. ඉතිහාසය මතු නොව සමාජ දේශපාලනික වශයෙන් උද්ගත වූ දුර්මත ඛණ්ඩනය කිරීම සඳහාද මහැදුරු මාලනි ඇඳගම නිරන්තරයෙන් ප්‍රෝත්සාහි වූවාය. මෙබඳු සමාජ දේශපාලනික හා බුද්ධිමය තලයෙහි වගකීම් මැනවින් වටහාගත් බුද්ධිමත්හු ඉතාම දුලබයහ. සරසවියෙහි සරන බොහෝ වෘත්තිකයන්ට, වෘත්තීය උගතුන්ට සමාජ දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරු දැක්මක්, චින්තනයක් නොමැත. ඒ බොහෝ අය චින්තනමය, දාර්ශනිකමය දැක්මක් පිළිබඳ දුගී බවකින්, චින්තනමය සාගතයකින් පෙළෙති. එය චින්තනමය නොපොහොසත් බව නමැති ව්‍යාධිය සේ ද දැක්විය හැකිය. එහෙත් මාලනී ඇඳගම සුධීමතියට පැහැදිලි සමාජ - දේශපාලන දැක්මක් විය. ලංකාවේ පැරණි ගම් සභා ක්‍රමය පිළිබඳ ඉතා පුළුල් පර්යේෂණයක් කළ ඇය සඳහන් කළේ ගම් සභා ක්‍රමය බඳු කුඩාතම පරිපාලන ඒකකයකට බලය ලබාදෙන, ඒකීය රාජ්‍ය ව්‍යූහය සහිත රාජ්‍ය යාන්ත්‍රණයකින් බොහෝ දේශපාලන ගැටලු විසඳා ගත හැකි බවය. බිරිතානි යටත් විජිත පාලනයට පෙර ලංකාවේ දේශපාලන ව්‍යුහය සාර්ථකව ක්‍රියාත්මක වීමට මෙම ගම් සභා ක්‍රමය හේතු වූ ආකාරය ද ඇය සකාරණව සනාථ කර තිබේ.
මහාචාර්යවරුද වරියෝද හතු පිපෙන්නා සේ මෙකල මතුවෙති. එහෙත් ගැඹුරින් තමන්ට අදාළ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ පර්යේෂණාත්මක දැනුමක් සහිත අය නම් පරම දුලබ වෙති. ඒ සමහර අය ආචාර්ය, මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආදී සරසවි වෘත්තීය ක්ෂේත්‍රයෙහි ඉහළට ගියේ කෙසේදැයි අපට නම් කුහුලකි. ඒ ඔවුන් කළ අනර්ඝ මට්ටමේ පර්යේෂණ දක්නට නොලැබෙන හෙයිනි. අවම වශයෙන් පිළිගත් සඟරා ආදියට ලියූ ලිපියක් වුවද දක්නට නොමැත. පෙර මහාචාර්ය වූවෝ නව්‍ය පර්යේෂණාත්මක ඥානයෙන් විද්‍යා ශාස්ත්‍ර ක්ෂේත්‍රය පෝෂණය කළහ. පරිපෝෂණය කළහ. සමහරු ඔවුන්ගේ උසටත් වඩා ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වශයෙන් ඉහළ පොතපත පළ කළහ. ශාස්ත්‍රීය ප්‍රස්තුතයන් පිළිබඳ පර්යේෂණාත්මක ලිපි දහස් ගණන් ලියූහ. එක් බසක් නොව භාෂා කීපයක් පිළිබඳ විශාරදත්වයක් දැක්වූහ. මාලනී ඇඳගම මහැදුරුවරිය එබඳු දුලබ විශිෂ්ට ශාස්ත්‍රවන්තයන්ගේ පරපුර නියෝජනය කරයි. අද සිටින සමහර මහාචාර්යවරුන්ට ඉංගිරිසියෙන් මතු නොව සිංහලයෙන්ද ඔද තෙද වඩන, සන්නිවේදනාත්මක හා සංක්ෂිප්ත ගුණයෙන් ද පොහොසත් වචන කිහිපයක්වත් ලියා ගත නොහැකිය. මහාචාර්ය මාලනී ඇඳගම භාෂණයෙහි මතු නොව ලේඛනයෙහිද මොනවට බස හැසිරවූ, සන්නිවේදන ගුණයෙන් පොහොසත් විද්වතියක් වූවාය. ඇයගේ අදහස් පළ කිරීම නිරවුල් විය. තාර්කික ගුණයෙන් පොහොසත් විය. පැහැදිලි විය.
ලංකාවේ දේශපාලන විකාශයට ඉමහත් බලපෑම් කළ කොළඹ නගර සභාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධය විශිෂ්ට පර්යේෂණ කාර්යයකි. එපමණක්ද නොව 1948 වසරේ සිට 1978 දක්වා කාලයේ මෙරට දේශපාලන ඉතිහාසය පිළිබඳ ඇය ඉමහත් ශාස්ත්‍රීය වෑයමකින් ලියූ කෘතියද අනගි සිහිවටනයකි. මෙසේ නිරන්තරයෙන් ඇය අපට ඤාණ සම්පාදනයෙහිලා නිරත වූවාය. එහිලා නිර්ලෝභී වූවාය. වෙසෙසින් මෙහිලා සඳහන් කළ යුත්තක් නම් ලෝක ඉතිහාසය යනුවෙන් ඇය පරිවර්තනය කරන ලදුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශ කරනු ලැබූ අනගි ග්‍රන්ථය ලෝක ඉතිහාසය පිළිබඳ සැකෙවින් නිරවුල් අවබෝධයක් ලබාගැනීමට උදව්වන්නකි. එමගින් ඇයගේ පරිවර්තන කුසලතාව පමණක් නොව ලෝක ඉතිහාස විෂයෙහි පරිචයද සනාථ වෙයි. මේ සියල්ලට වඩා මහාවංශයෙහි හය වැනි වෙළුමෙහි 10-12 කොටස් සම්පාදනය කරමින් මහාවංශ සම්පාදක මණ්ඩලයෙහි ලේකම්වරිය හැටියට ද ඇය කළ සේවය වුවද ශාස්ත්‍රීය ණයබරින් නිදහස් වීමට සෑහේය. ඉතාම විචාර පූර්වක, අගති විරහිත ප්‍රවේශයකින් එකී කාර්යය කිරීමට ඇයට හැකි විය. එකී කොටසෙහි දුටුගැමුණු රජු සේ වීරයන් සිටීදැයි වරක් මතු කළ පැනයට ඇය දුන්නේ කදිම පිළිතුරකි. ඒ ඒ යුගවලදී වෙනස් වෙනස් අභියෝගවලට පාලකයන්ට මුහුණ පෑමට සිදුවූ බවත් ඔවුන් ඒවාට ඒ කාලවල හැටියට මුහුණ දුන් බවත් ඇය සඳහන් කළාය. එසේ නැතිව තමන් සම්පාදනය කළ කොටසෙහි වීරයකු නැති බව ඇය පෙන්වා දුන්නාය. එමගින් පැහැදිලි වන්නේ ඇය කෙතරම් පරිණත දැක්මකින් පොහොසත් ඉතිහාසඥවරියක් ද යන්නය. මහාවංශ සම්පාදනය වැනි ජාතික කාර්යභාරයකට නායකත්වය දීමට තරම් තුලනාත්මක, සමබර ශික්ෂණයකින් ඇය පොහොසත් වූවාය. එවැනි භාරදූර ජාතික වගකීමක් ඉසිලිය හැකි කීදෙනෙක් සරසවියේ මතු නොව ඉන් පිටත ද වෙත්ද? රට දැය සමයට එහි ඉතිහාසයට පහර ගැසීම නමැති හීනමාන ව්‍යාධියෙන් විද්වතුන් යැයි කියන බොහෝ අය පීඩාවට පත්වුවද ඇයට එවැනි ව්‍යාධියක් වැලඳී තිබුණේ නැත. ඇය සහේතුකව අභිමානයෙන් ඒ පිළිබඳ ලියූ කියූ ශාස්ත්‍රඥවරියක් වූවාය. අපගෙන් සමුගත්තේ එවැනි අභිමානවත් මහ හෙළ කතකි.