අතකොළු සව්වන් නොවී බුදුසව්වන් වෙන්න!
20 November 2026
අතකොළු සව්වන් නොවී බුදුසව්වන් වෙන්න!
20 November 2026
අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය අසල උපවාසය අවසන් වූ ආකාරය පිළිබඳ විවිධ අයට නොයෙක් අදහස් තිබිය හැකිය. කස්සප හිමි ප්‍රධාන භික්ෂූන් වහන්සේ උපවාස කළේ ආණ්ඩුවේ යම් යම් ක්‍රියාමාර්ගවලට විරෝධය දක්වමිනි. රාජාංගණයේ සද්ධාරතන නමැති රාමඤ්ඤ නිකායෙන් නෙරපා හළ බව කියන හිමිනම ආණ්ඩු පක්ෂයට පක්ෂපාත පිරිසක්ද පිරිවරාගෙන පැමිණ උපවාසකරුවන්ට විරෝධය පළ කළේය. අවසානයේ එය ගැටුමක් දක්වා වර්ධනය විය. ගැටුම ඇතිවූ දිනම කස්සප හිමියන් ප්‍රධාන උපවාසකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබුවද සද්ධාරතන නමැති හිමිනම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට ගත්තේ යම් සමාජ විරෝධයක් මතු වූ හෙයිනි. රටටම පැහැදිලි වූ ආකාරයට සාමකාමී උපවාසකරුවන්ට ප්‍රහාර එල්ල කර ගැටුමක් ඇති කිරීමට මුල් වූයේ සද්ධාරතනය. ඒ තැනැත්තා උපවාස භූමියට පැමිණියේ අටමස්ථානය බේරා ගැනීමට කැපවෙන බවට වහසි බස් දොඩමින්ය. එහෙත් පසුව හෙතෙම විටින් විට පළ කළ අදහස්වලින් අපට දැන ගැනීමට ලැබුණේ භූමිකාව පිටුපස ආණ්ඩුවේ ප්‍රධාන අප්‍රධාන චරිත කිහිපයක් සිටින බවය. කිසිදු දේශපාලන කටයුත්තකට අත නොතබා පාඩුවේ සිටින තැනැත්තියකසේ කිත් යසස් පැසසුම් ලබන ජනාධිපති ආර්යාව ගැනද ඔහු පැවසීය. අප දුටු ආකාරයට අටමස්ථානාධිපති ධුරයෙහි වැඩ බලන ඊතලවැටුණුවැවේ ඥානරතන නාහිමියන් උපවාසකරුවන්ගේ දුක් සැප බැලීමට හෝ ඔවුන් සමග කතාබහ කිරීමට පැමිණියේ නැත. එහෙත් සද්ධාරතන නමැත්තා කට පුරා ප්‍රසංසා කරමින් සඳහන් කළේ තමන් අද කාල බීලා සිටින්නේ උන්වහන්සේ නිසා බවය. අරුමය එය නොවේ. උපවාසය නිමවූ පසු වැඩ බලන අටතැන්හි නාහිමියන් පෙරට පැමිණ නව අටමස්ථාන සංවර්ධන වැඩපිළිවෙළට බාධා නොකරන ලෙස පැවසීමයි.
මෙකී සියලු භූමිකා දෙස බැලීමෙන් අපට පැහැදිලි වනුයේ අපේ සමහර භික්ෂූන් වහන්සේ විවිධ ව්‍යාපෘතිවලට, දේශපාලනඥයන්ට, දේශපාලන ව්‍යාපාරවලට අතකොළු වී තිබෙන බවය. එනම් උන්වහන්සේලා පිටුපස නොයෙක් න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වන බවය. එවැනි තැනකට භික්ෂූන් වහන්සේලා ඇදවැටිය යුත්තෝද? උන්වහන්සේලා සරණ ගිය බුදුරජාණන් වහන්සේ යනු රජ මැති ඇමැතිවරුන්ට, ධනවතුන්ට, සිටුවරුන්ට යට නොවූ, බිය නොවූ අදීන, අසමසම ගුරුවරයාය. රජවරු සිටුවරු, පමණක් නොව සක්‍ර රාජ, බ්‍රහ්ම රාජ යන මේ සියල්ලෝම උන්වහන්සේ අබිමුව දණින් වැටුණෝය. එවන් උතුමකුගේ ශ්‍රාවකයන් වන භික්ෂූන් වහන්සේලා නිවට නියාලු ආකාරයට නොයෙක් අයට කඩේ යාම, අතකොළු වීම කිසිසේත්ම නොවිය යුත්තකි. බුදුන් වහන්සේ නොව මෑත කාලීනව මෙරට වැඩ විසූ භික්ෂූන් වහන්සේලා දෙස අවධානය යොමු කළද අපට පෙනෙන්නේ උන්වහන්සේලා බහුජනතාවගේ යහපත වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව සමාජ දේශපාලන කටයුතුවල ඉතා පරිණතව නිරත වූ ආකාරයයි. යක්කඩුවේ පඤ්ඤාරාම, වල්පොල රාහුල, තල්පාවිල ශීලවංස, කොටහේනේ පඤ්ඤාකිත්ති, මඩිහේ පඤ්ඤාසීහ වැනි මහ යතිවරු එසේ උජුපටිපන්නව කටයුතු කළහ. උන්වහන්සේලා කාගේවත් අතකොළු නොවූහ. කාටවත් ඕනෑ විදියට රඟපෑම් නොකළහ. සාසන ගෞරවයත් තමන් වහන්සේගේ ගෞරවයත් ආරක්ෂා වන විදියට වැඩ කටයුතු කළහ. පලිපාන චන්දානන්ද, සිරිමල් වත්තේ ආනන්ද වැනි නාහිමිවරු ද එසේ කටයුතු කළහ.
එහෙත් බලන්ගොඩ කස්සප, සද්ධාරතන වැනි චරිත කෙරෙහි අවධානය යොමු කරන විට අපට පැහැදිලි වනුයේ අගක් මුලක් නොමැතිව, අපරිණතව හැසිරෙන ආකාරයයි. එදා බෝ මැඩට දසබිම්බරක් මාර සේනාව පැමිණ විවිධ ගැටුම් ඇතිකළද බුදුන් වහන්සේ මාර සේනාව සමග ගැටුම් ඇතිකර ගැනීමට යොමු වූයේ නැත. මාරයන් කරන වැඩ කිරීමට යොමු වූයේ නැත. එසේ වූයේ නම් තමන් වහන්සේත් මාරයන්ගේ පැත්තට වැටෙන බව උන්වහන්සේ මැනවින් දැන සිටියෝය. එහෙත් එදා සද්ධාරතන ප්‍රධාන සේනාව සටනට කැඳවන විට කස්සප ඇතුළු පිරිස දඬු අමෝරාගෙන ගියෝය. ඒ කාගේ වුවමනාවටද? උපවාසයක් කරමින් සාමකාමී ගුණය මතු කළ ඔවුන්ට සතුරා ඉදිරියේ දී ඒ සියල්ල අමතක වූ හැටියකි. කළ යුතුව තිබුණේ අතකොළුවක් වූ සද්ධාරතනට අනුකම්පා කිරීමය. එසේ අනුකම්පා කර ඔහු ළඟින් වාඩි කරගෙන කතා කිරීම. ඔහු පහර දෙන්නේ නම් එයද ඉවසා දරා ගැනීමයි. එහෙත් අතකොළුවකට තවත් අතකොළුවක් ඉදිරියේ හැසිරිය හැක්කේ එබඳු අයුරින් යැයි ප්‍රකට කරමින් ඔවුන් හැසුරුනේ බුදුන් වදාළ මගට පිටතින්ය. අපට පෙනෙන පරිදි මෙකී සියලුම භික්ෂූන් වහන්සේ යළි පැවිදි විය යුත්තෝය. ගත නොව සිත පැවිදි කරගත යුත්තෝය. එසේ වූ විට ඔවුන්ට අතකොළු නොවී සැබෑ බුද්ධ පුත්‍රයන් සේ කටයුතු කිරීමට හැකි වනු ඇත.


