brand logo
logo
බැසිල් අත්අඩංගුවට ගැනීමට අධිකරණය දුන් නියෝගයේ සම්පූර්ණ විස්තරය

බැසිල් අත්අඩංගුවට ගැනීමට අධිකරණය දුන් නියෝගයේ සම්පූර්ණ විස්තරය

14 October 2026

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන්, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.


එහිදී මහේස්ත්‍රාත්වරයා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට නියෝග කළේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් ලබාගැනීමට මෙම වරෙන්තුව ඔස්සේ පියවර ගන්නා ලෙසය.


2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන්කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක්, ඌව පළාත් සභා මැතිවරණයේදී ටී ෂර්ට් 12,000ක් මුද්‍රණය සඳහා යොදවා රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට දෙදෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.


ඒ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසිනි.


නඩුව අද කැඳවූ අවස්ථාවේ එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේ සැකකාර බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට, ඔහු පදිංචි ලිපිනය ලෙස සැලකෙන මැදමුලන වීරකැටියේ අදාළ ස්ථානයට ගියද ඔහු එහි නොසිටී බවය.

එහිදී එම ලිපිනය අයත් වසමේ ග්‍රාම නිලධාරිවරයාගෙන් සහ සැකකරුගේ පවුලේ ඥාතින්ගෙන් ප්‍රකාශ ලබාගත් අතර ඒ අනුව සැකකරු මේ වනවිට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ඔවුන් සඳහන් කර ඇත.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට අවශ්‍ය වරෙන්තුව නිකුත් කරන ලෙස නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

කරුණු සලකාබැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කළ අතර ඊට අදාළ වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද නියෝග කළේය.

ඒ ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් ලබාගැනීමට පියවරගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ට දැනුම් දී තිබුණි.

 

More News..