පිළිකා රෝගීන්ගේ දත්ත වසර 4 ක් තිස්සේ යාවත්කාලීන කර නැහැ
10 September 2026 | ශිරාන් රණසිංහ
පිළිකා රෝගීන්ගේ දත්ත වසර 4 ක් තිස්සේ යාවත්කාලීන කර නැහැ
10 September 2026 | ශිරාන් රණසිංහ
දත්ත මත පදනම්ව ප්‍රශ්නවලට විසඳුම් දෙන ලෙසට ජනාධිපතිවරයා දිගින් දිගටම උපදෙස් දුන්නද මෙරට පිළිකා රෝගීන් පිළිබඳ දත්ත වසර හතරක් තිස්සේ යාවත්කාලීන කර නැතැයි සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
මෙතෙක් කලක් පිළිකා රෝගීන්ගේ තොරුතුරු අතින් ලියා දත්ත රැස් කිරීම වූ බවත් මේ වන විට එම තොරතුරු පරිගණකගත කරමින් දත්ත යාවත්කාලීන කරන බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය පිළිකා රෝගීන්ගේ චූලා ආනන්දලාල් එහිදී පැවසීය.
මෙරට පිළිකා රෝගීන් පිළිබඳ අවසන් වරට දත්ත එකතු කර ඇත්තේ 2022 වසරේ බවද එම වසර වන විට ළමා හා වැඩිහිටි පිළිකා රෝගීන් 35,000 ක් මෙරට සිටි බවද එම මාධ්‍ය හමුවට එක් වූ මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර සඳහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 1000 ක් අලුතින් හඳුනා ගන්නා බවත්, ඉකුත් වසර දහය, පහළොවක කාලයේ දී වාර්ෂිකව අලුතින් හමුවන පිළිකා රෝගීන් සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවත් හෙතෙම කියා සිටියේය.
2024 වසරේ දත්ත හෝ ඉන් පෙර වාර්තා සැලකිල්ලට ගත්තත් පිළිකාවලින් මියගිය බවට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ නිවැරදි දත්ත මේ මොහොතේ ප්‍රකාශයට පත් කළ නොහැකි බවද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.
මෙරටදී හමුවන ළමා පිළිකා රෝගීන් සැලකිල්ලට ගැනීමේදී ලියුකේමියා, වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව, මොළේ ආශ්‍රිත පිළිකාව, අස්ථි ආශ්‍රිත සහ ඇස ආශ්‍රිත පිළිකා දරුවන්ට වැලඳෙන බව මෙම මාධ්‍ය හමුවට එක් වූ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පැවසීය.
පිළිකා වැලඳෙන ළමා රෝගීන්ගෙන් සියයට හැත්තෑවක් (70%) පමණ අඛණ්ඩව නිසි ප්‍රතිකාර මගින් සුවපත් කළ හැකි බයවද දියුණු රටවල සියයට අනූපහක් (95%) පමණ පිරිසක් පිළිකා ප්‍රතිකාර මගින් සුව කරන බවද ඔහු සඳහන් කළේය.
සෑම වසරකම සැප්තැම්බර් මාසයේ ලෝක ළමා පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය යෙදී ඇති අතර ඊට සමගාමීව ජනතාව දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (9 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය විය.

