එතැනින් නොනැවතී - හමටද බැට දෙතී
08 November 2026
එතැනින් නොනැවතී - හමටද බැට දෙතී
08 November 2026
දැන් විදුලිබිල ගෙවීමට දින කිහිපයක් පරක්කු වුණොත් ලාංකිකයාගේ ගෙය දොරකඩට එන විදුලි කප්පාදුකාරයා ගෝරනාඩු කරයි. ගෙවීමට තිබෙන බිලේ අගය කියන කප්පාදුකාරයා ඊළඟ නිමේෂයේ බිල ගෙව්වේ නැතොත් සුටුස් ගා විදුලිය කපන බව පාරිභෝගිකයාට නිවේදනය කරයි. පාරිභෝගිකයාට ඉඩ දෙන්නේ අත සාක්කුවට යවන කාලයට පමණය. සාක්කුවට අත දා සල්ලි ගන්න කාලය පමණය. ඒ වෙලාවේ සාක්කුව හිස් නම් කෙතරම් කාලයක් නිසි කලට බිල ගෙවා තිබුණත් වැඩක් නැත. විදුලිය සිඳේ. ඉස්සර වාගේ රතු බිලක් මුලදී යවා ‘දින දොළහක් තුළ නොගෙවුවහොත් සිඳිනු ලැබේ.’ ආදී අගහිඟකම්වලට සලකන සිරිතක්, දැන් නැත. හිතවත්කම හඟවන්නට ‘‘හිතවත් පාරිභෝගිකය’’ යනු දුරකථනයේ පටිගත කළ වචනයක් පමණය. මේ ආණ්ඩුව ධනය උපයා තිබෙන එක ක්රමයකි.
ගෙවුණු සතියේ පොලිසිය ප්‍රකාශ කළේ මාර්ග නීති කැඩීම ගැන දඩ කොළයක් දින දාහතර තුළ ගෙව්වේ නැතිනම් දඩය වාගේ දෙගුණයක් ගෙවන්න වෙන තැනට වැඩ හැදෙන බවය. පුංචි අපට නැද්ද ඉඩක් කියා ත්‍රීවීලරයේ පිටේ ගසාගෙන ගෙන ජීවත් වෙන වැඩිපුරම දඩ කොළ කන ත්‍රීවීලර්කාරයා මේ නීතියේ මහ ගොදුර වනු ඇත. මේ හැමෝම බලා ඉන්නේ වරදිනතුරු අපට කියා ත්‍රීවීලරයේ පිටුපස අලවාගෙන යාමේ හරි තේරුමට දැන් ඔවුන් ඇවිත් ඉන්න බව දඩකොළේ ලැබුණාම වැටහෙනු ඇත.
ගෙවුණු බදාදා අප ප්‍රධාන ශීර්ෂ පාඨය වූයේ ‘‘අරක්කු මිල නගී’’ කියාය. අරක්කුවලට වදින බද්දේ හැටියට ලාංකිකයා දැන් බොන්නේ ගල්, පොල්, අරක්කු නොව අති විශේෂ ඩබල් ටැක්ස්ය යැයි කීවාට වරදක් නැත. අරක්කු නිෂ්පාදකයන් කියන්නේ බෝතලය මූඩිය ලේබලය එතනෝල් ආදී සියල්ලට බදු වැදී අන්තිමට සුරාබද්ද කියා විශේෂ බද්දක්ද ගහන බවය. ‘එතැනින් නොනැවතී හමටද බැට දෙතී’ කියන්නා සේ අන්තිමට අරක්කු නිෂ්පාදකයාට ආදායම් බද්දක් ගෙවන්නත් වේ. දැන් සුරාවට වදින බද්ද සියයට සියයක්ය. වැඩිපුරම ගල්, පොල් ගහන්නේ උඩරට වතු කම්කරුවෝ ඇතුළු හුදී ජනයාය. ඒ නිසා ඔවුන් ගල් පොල් බොනවා ඇත්තේ හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා තේමා ගීය කියමිනි.
මෙබදු බදු බරින් මිරිකී ජීවත් වෙද්දීත් සුළුවෙන් හෝ විනෝද වුණොත් ආණ්ඩුව විනෝද බද්දක් අය කරන්නේය.
විනෝද බද්ද කොරෝනා සමයේ අතහැරියේය. චිත්‍රපට ශාලාවේ විදුලි බුබුලු රස්නෙට තිරය ආදී අංගෝපාංග ගිනි ගත්තොත් එය නිවාදාන්නට අතීත කාලයේ විනෝදකාමීන්ගෙන් එකතු කළ මුදල විනෝද බද්ද ලෙස හැඳින්වූ අතර එබඳු ගිනි ගැනීම් නැති වුවත් නගර සභා ඒ බද්ද අයකරගෙන දිගටම ආවේය. ඒ අනුව සංගීත සංදර්ශන, චිත්‍රපට ආදියෙන් ලැබෙන ආදායමෙන් සියයට පහක් විනෝද බද්දය. ඒ බද්ද මදිවාට තවත් බද්දක් ගහන්නට ගෙවුණු කාලයේ සූදානම් විය. එය සිංදු බද්දය. ප්‍රසංගයක ගයන ගීතයකට රුපියල් දාහදාහ ගණනේද, මඟුල් ගෙවල්වල දාන සාජ්ජවලදී ගැයෙන ගීවලට රුපියල් විසිපන්දහක් අය කිරීමටද ආණ්ඩුව සූදානම් වූයේය.
එය කලාකරුවන්ගේ සංවිධානයක් මගින් අයකරවා ඉන් පසු කලාකරුවන් අතර මුදල් බෙදී ගිය පසු ඔවුන්ගෙන් ආදායම් බදු අය කරගන්න ආණ්ඩුවට සිතුණා සේය. එහෙත් මේ මඟුල් සාජ්ජවල බද්ද බොහෝ පාර්ශ්වවල විරෝධයෙන් තාවකාලිකව නතර වූ අතර එය යාවකාලික නතර කිරීමක් නොවන ලකුණු තිබේ.
බදු බරින් පීඩාවට පත්වූ තරම පෙන්වන්නට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්ථික විද්‍යාඥ හර්ෂ ද සිල්වා ගෙවුණ සතියේ යතුරුපැදියක හිඳගෙන රූපවාහිනි කැමරාවකට මුහුණ දුන්නේය. ඒ ඩීසල්, පෙට්‍රල් මිල නංවා ආණ්ඩුව ඒවායින් අයකරන තරම පෙන්වන්නට තියෙන හොඳම විදියයි. තෙල් ගහන්න වියදම් සැර නිසා ඔහු යතුරුපැදියෙන් යන බව කීවේය. එහෙත් එදා රූපවාහිනි කැමරාව එතැනින් ගියාට පස්සේ ඔහු ගියේ කොහොමදැයි දන්නේ නැත. කෙසේ වෙතත් ඔහු කීවේ මුදල් ඇමැති වුවත් ජනාධිපතිතුමාට බදු බර නොතේරෙන බවය. එසේ කීවේ ආණ්ඩුව අලුතින් බදු පැනවූයේ නැති බවත් බදු වැඩි කළේ නැති බවටත් ජනාධිපතිතුමා මෑතකදී කළ කතාවක් මතක් කරමිනි. ඔහුට අනුව ආණ්ඩුව ඩිජිටල් සේවාදායකයන්ට අලුතෙන් ගහපු බද්ද ජනාධිපති දන්නේ නැති වීම ශෝකයට කරුණකි.
සැබැවින්ම දැන් ඉන්න Jen C පරපුර ඔළුව උස්සන්න හදන්නේ ඩිජිටල් තාක්ෂණය හරහාය. වත්ත පහළ කිරිඅල වැව්වත් මේ පරපුර ඒවා ජංගම දුරකථන හරහා ප්‍රචාරය කර අලෙවි ප්‍රවර්ධනය කර හැඩවැඩ දමා වෙළෙඳපොළ හදාගන්නේය. කොටින්ම දැන් බත් අදින සේවාව කරන්නේ APP එකෙනි. ජෙන් සී මධු සමය ගත කරන්න යන ගමන් ද එහි සොඳුරු සිරියාවද රූගත කරමින් ඒවා ඩිජිටල් අවකාශයේ මුදාහැර වියදම සොයා ගැනීම සිරිතය. එය මේ පරපුරේ කුලදහමය. එහෙත් එහෙම ඔළුව උස්සන්නට හැදූ ජෙන් ඉසෙඩ් පරපුර දැන් ඔළුව ගලේ ගහගෙනය. දැන් ඩිජිටල් වැඩසටහන් කර විදේශයන්ට යවා ගෙන්වන විට ඊට සියයට පහළොවක් බදු අය කෙරෙයි. ඒ මුදල් එන්නේ බැංකු හරහා නොවේ නම් එවිට සියයට තිස්හයක් බදුය. තමන් වෙළෙඳාම සඳහා යොමු කරන භාණ්ඩයේ මිලට වඩා වැඩි මිලක් ඒවා ප්‍රවාහනයටත් ප්රචාරණයටත් යන නිසා ජෙන් සී පරපුර අතහැර දැමූ ව්‍යාපාර ගනින්නට ලෝක බැංකුවටත් බැරි වනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ ආර්ථික වාර්තාවක කියන්නේ එදා දෙකේ පන්තියේ හිටපු මිනිස්සුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් තුනේ පන්තියට වැටී ඇති බවය.
ලංකාවේ දරුණුම බදු පැනවූයේ ටොරිංටන් ආණ්ඩුකාරයාගේ කාලයේය. ඒ බදු ඉස්තෝප්පු බද්දේ සිට බලු බද්ද දක්වාය. දැන් ගමේ ගෙදර සෙනේ ඇතිව පිලේ ලඟින ගෙදර හදන බල්ලා ලියාපදිංචි කරන නීතියක් පනවන්නට යන්නේ ලියාපදිංචි ගාස්තුවක් ගන්නය.
ටොරිංටන් ආණ්ඩුකාරයා මේ ආකාරයට බදු පනවනු ඉවසනු නොහැකි, උඩරට මිනිසුන් ගෑනුන්ගේ තන මැන ඊට බද්දක් ගහන්නට ළඟදීම සුදු මහත්තුරු ගෙන්ගෙට එන බවට ප්‍රචාරය කළෝය. එහෙත් දැන් එහෙම ප්‍රචාර යැව්වොත් දඩමුඩ ගසා දඟගෙයි දමන නීති දැන් පෑදෙමින් පවතින්නේය.

