ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරයි
17 August 2026
ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරයි
17 August 2026
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබේ.
ඉකුත් මාර්තු මාසයේදී ඩුබායිහීදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු එහි සිට පිටුවහල් කරන ලද මොහු පසුගිය 14වනදා මෙරටට රැගෙන එන ලදී.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපළේදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවවට ගනු ලැබීය.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමා ඩුබායිහී පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිටියදී එරට පොලිසිය විසින් තමන්ව පරීක්ෂා කළ බවය.
ඒ ඩුබායි රාජ්‍යයට ඉරානයෙන් අඛණ්ඩව ප්‍රහාර එල්ල කෙරෙමින් තිබූ කාලවකවානුවකදී බව ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
අනතුරුව තමන්ගේ දුරකථනය එරට පොලිසිය විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි තිබී ඉරානය විසින් ඩුබායි රාජ්‍යයට එල්ලකළ ප්‍රහාරවල රූපරාමු හමුවීමත් සමග තමන්ව අත්අඩංගුවට ගත් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ඉන් අනතුරුව මෙරටට පිටුවහල් කරන තුරුම දිනපතා තමන්ගෙන් ඩුබායි පොලිසියේ නිලධාරීන් ඉරාන සබඳතා පිළිබඳව ප්‍රශ්න කළ බව ද ඔහු එහිදී පවසා ඇත.
පසුව තමන්ටම ශ්‍රී ලංකාවට යෑම සඳහා ගුවන් ටිකට්පතක් මිලදීගන්නා ලෙස එරට බලධාරීන් පැවසූ බවත්, ඉන්පසුව මෙරටට පිටුවහල් කළ බවත් ඔහු පවසා තිබේ.
ඔහුට පැවැති මත්ද්‍රව්‍ය චෝදනා නඩුවකින් අනතුරුව මෙරට පොලිසිය ලබාගෙන තිබූ රතු නිවේදනය ද ඉවත්වී ඇති අතර නැවත වරක් මෙරට පොලිසිය රතු නිවේදනයක් ලබාගැනීමට සූදානම්වන විටදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු නීත්‍යානුකූල ලෙස 2018 වසරේ ජූනි මස 02 වැනිදා මෙරටින් ඩුබායි රාජ්‍යවෙත ගොස් තිබේ.
එහිදී ඔහු අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති අතර මහා පරිමාණ ව්‍යාපාර දෙකක්ද එරට තුළදී සිදුකර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදෙනු ලැබීය.
සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.

