brand logo
logo
තරගාවලියේ ජය කඩුලු 3ක් දුරින්

තරගාවලියේ ජය කඩුලු 3ක් දුරින්

03 April 2024

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය ඊයේ (2 වැනිදා) නිමාවට පත් වූ අතර දිනය තුළ බංග්ලාදේශ කඩුලු 7ක් බිඳ වැටීම ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දීමේ සැලසුම සාර්ථක බව පෙන්නුම් කෙරුණි. තරගය ජය ගැනීම සඳහා මෙන්ම 2 - 0ක තරගාවලි ජයක් සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද (3 වැනිදා) දිනය තුළ කඩුලු 3ක් ලබා ගත යුතුවේ.


තරගයේ සිව්වන දිනය ඇරැඹෙන විට ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 102ක් වශයෙන් සටහන්ව තිබුණි. තුන්වන දිනයේදී බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178කට සීමා කර, ලකුණු 353ක් ඉදිරියෙන් සිටියදීත් ශ්‍රී ලංකාව නැවත වතාවක් පන්දුවට පහර දීමේ අරමුණ ප්‍රේක්ෂකයන් හට ගැටලුවක් බවට පත්ව තිබුණි. කෙසේවෙතත් මීට හේතුව තණතීරුව වැඩි වශයෙන් පලුදු වී ඇති සිව්වන ඉනිමේ පන්දු යැවීමේ පහසුව සහ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට විවේකයක් ලබා දීම බවට හෙළි විය. එමෙන්ම මෙම තීරණයත් සමගින් බංග්ලාදේශ පිතිකරුවන් තණතීරුවට හුරු වීම වළකාලීම සහ පන්දු රැකීම සඳහා කැඳවා වෙහෙසට පත් කිරීමද සිදු විණි.


ඊයේ දිනය සඳහා ශ්‍රී ලංකා ඉනිම ඇරැඹූ ඇන්ජෙලෝ මැතිව්ස් සහ ප්‍රභාත් ජයසූරිය තවත් පන්දු 62ක් පුරා සිය සබඳතාවය ගොඩ නැගූහ. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 56ක් රැස් කොට සිටියදී දිනයේ පළමු කඩුල්ල වශයෙන් දැවී ගියේය. මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව තවත් පන්දු 28ක් බංග්ලාදේශ පන්දු රකින්නන් වෙහෙසවූ ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 28ක් රැස් කරගත් අතර විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 8ක් ‍රැස් කළේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය දෙවන ඉනිම සඳහා පන්දුවාර 40ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් රැස් කොට සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ.


ලකුණු 511ක ඉලක්කයක් හඹා යෑම සඳහා දිවා ආහාර විවේකයට පන්දුවාර 8ක් ඉතිරිව තිබියදී පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෝ දිවා ආහාරය තෙක් කඩුලු රැක ගැනීමට සමත් වූහ. එනමුත් දිවා ආහාරයෙන් පසු ක්‍රියාත්මක වූ දෙවන පන්දු වාරයේදීම ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් විය. පිතිකරුවන්ට උචිත චැටොග්‍රෑම් තණතීරුවේ දිගු සබඳතා පැවැත්වීමට ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිනය නිමා වන විට පන්දුවාර 67ක් ක්‍රියාත්මක කොට ලකුණු 268ට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූහ. ඉනිමේ එකම අර්ධ ශතකලාභියා වූ මොමිනුල් හක් ලකුණු 50කට දැවී ගිය අතර මෙහිදි හසන් නොදැවී ලකුණු 44ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමෙන් ලහිරු කුමාර සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ. පළමු වරට ටෙස්ට් ඉනිමක ලකුණු 50 සීමාව ඉක්මවීමට නොහැකි වූ කමිඳු මෙන්ඩිස් පන්දුවෙන් සිය රාජකාරිය ඉටු කරමින් සිය මංගල ටෙස්ට් කඩුල්ලද ඇතුළුව කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.


තරගයේ පස්වන සහ අවසන් දිනය අද පැවැත්වෙන අතර තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට තවත් ලකුණු 243ක් අවශ්‍ය වන අතර ශ්‍රී ලංකාවට කඩුලු 3ක් පමණක් අවශ්‍ය වේ.

 

More News..