සංස්ථාව කෝටි 50ක් මාළු මුදලාලිලාට ණයයි
16 November 2026 | ශිරාන් රණසිංහ
සංස්ථාව කෝටි 50ක් මාළු මුදලාලිලාට ණයයි
16 November 2026 | ශිරාන් රණසිංහ
මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගෙන් ලංකා ධීවර සංස්ථාව මිලදී ගත් මාළුවලට රුපියල් කෝටි පනහක පමණ මුදලක් සංස්ථා පරිපාලනය විසින් ගෙවීම පැහැර හැර ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණ වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ ‘අරුණ’ට පැවැසීය.
ඉකුත් වසර පහක කාලය තිස්සේ විවිධ හේතු කියමින් මෙම මුදල් ව්‍යාපාරිකයන්ට නොගෙවා කල්මරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
ධීවරයන්ගෙන් මිලදී ගන්නා මාළු සඳහා අත්පිට මුදල් ගෙවිය යුතු නමුත් එලෙස මිලදී ගන්නා මසුන් ධීවර සංස්ථාව විසින් පසුව ගෙවන පොරොන්දුව මත ලබාගන්නා බවද ජයන්ත කුරේ පැවැසීය.
රටේ ආර්ථික අර්බුදයත් සමග සංස්ථාව විසින් මිලදී ගෙන තිබූ මාළුවලට අදාළ මුදල් ගෙවීම් නතර වූ බවත් මීට අදාළ නිල කුවිතාන්සි තමන් සතුව ඇති බවත් වෙළෙඳ සංගම් ලේකම්වරයා සඳහන් කළේය.
උද්ගතව ඇති ප්‍රශ්නය පිළිබඳ ධීවර අමාත්‍යාංශයෙන් සහ ලංකා ධීවර සංස්ථාවෙන් විමසීම් කරන විට විවිධ හේතු කියමින් අදාළ මුදල් ගෙවීම පමාකරමින් සිටින බවද ඔහු කියා සිටියේය. මේ පිළිබඳ ධීවර ඇමැතිවරයාට පැමිණිලි කළ පසු මෙවර අයවැයෙන් යම් මුදලක් මේ සඳහා වෙන් කරන බව කීවත් හිඟ මුදල් ගෙවීම සම්බන්ධව තවමත් කිසිදු පියවරක් ගෙන නැතැයි ජයන්ත කුරේ සඳහන් කළේය.


