brand logo
logo
ඥානසාර හිමි නිදහස් කර ගැනීමට මුස්ලිම් 3000කගේ අත්සන්

ඥානසාර හිමි නිදහස් කර ගැනීමට මුස්ලිම් 3000කගේ අත්සන්

17 October 2026

මහනුවර ශ්‍රී දළදා මළුවෙහි වෙනදාසේම පසුගිය ඔක්තෝබර් 10 වැනිදා හිමිදිරි උදෑසන වූයේ දැඩි නිහඬියාවකි. එහෙත් වෙනදා දළදා මළුවේ නිතර දැකිය නොහැකි දසුනක් දැකගත හැකි විය. ඒ රටේ නන්දෙසින් පැමිණි භික්ෂූන් වහන්සේ මළුවෙහි ශ්‍රී සුමංගල ප්‍රතිමාව අසලට එක්රොක් වෙමින් සිටීමය. වටපිටාවේ සිටි උදවිය වෙන්නට යන්නේ කුමක්දැයි කුතුහලයෙන් බලා සිටියෝය.


සුමංගල ප්‍රතිමාව අසල රැස්වූ භික්ෂූන් වහන්සේ දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව දෙසට දොහොත් මුදුන් තබාගෙන බුදුන් වඳින්නට වූහ.


"ආරභථ! නික්ඛමථ! යුඤ්ජථ! බුද්ධ සාසනෙ "

ගාථාව අනතුරුව භික්ෂූන් වහන්සේ සජ්ඣායනා කළහ.

"ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා දැමීම ඓතිහාසික වැරැද්දක්, කිසි කෙනෙක් නොකළ වැඩක්. එයට එරෙහිව භික්ෂූන් වහන්සේලා අද කොළඹට පා ගමනක් ආරම්භ කරනවා"

එසේ කියමින් උලපනේ සුමංගල හිමියෝ රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළහ. උන්වහන්සේගේ ඇමතීමෙන් පසු රැස්වූ භික්ෂූන් වහන්සේ ඇමතූයේ මිහින්තලේ රාජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේය.

"ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීම උන්වහන්සේට නොව සමස්ත භික්ෂු සමාජයට එරෙහිව කළ දෙයක්. බුදුරජාණන් වහන්සේගෙන් සහ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබුණු චීවරය කාටවත් බලහත්කාරයෙන් ගලවන්න හෝ පොරවන්න බැහැ. මේ ආණ්ඩුව කටයුතු කරන්නේ බුද්ධ ශාසනයට එරෙහිවයි. එදා ධර්මපාලතුමා පැවසූ දේ අද ඇත්ත වෙලා තිබෙනවා.

ඒ වගේම ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ වත් මේ විදියට භික්ෂූන් වහන්සේගේ චීවරය ගැලෙව්වේ නැහැ. ඉංග්‍රීසි ආණ්ඩුව කැරලි කෝලහාලවලට සම්බන්ධ භික්ෂූන් වහන්සේ කීප නමක් සිරගෙදරට දැම්මා. කුඩා පොළ ඇතුළු ස්වාමීන් වහන්සේ වෙඩි තබා ඝාතනය කළා. ඒත් චීවරය ගැලෙව්වේ නැහැ. සිංහල ආණ්ඩු ක්‍රමය පිළිබඳ ජෝන් ඩොයිලි ලියා තිබෙන පොත කියවන්න. ඒ පොතේ තිබෙනවා අච්චු කරනු ලැබූ භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන් එදා ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කළ ආකාරය. ශාසනයට එරෙහි මේ කුමන්ත්‍රණයට එරෙහිව


ගිහි පැවිදි සියලු දෙනා නැගී සිටිය යුතුයි."

"මිහින්තලේ හාමුදුරුවන් කතාවක් කළේත් සුමංගල ප්‍රතිමාව ළඟ ඉඳගෙන නේ. ඒ නිසා කතාව හොඳට පණ පිහිටවා තිබුණා."

එහි සිටි එක් භික්ෂූන් වහන්සේ නමක් එසේ පැවසූහ.

අනතුරුව මිහින්තලේ නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ උදෑසන දහයට පමණ පා ගමන ආරම්භ කළහ. ගිහි ජනතාව සාධුකාර දෙන්නට වූහ. බුදුගුණ සජ්ඣායනා කරමින් පා ගමන ආරම්භ විය. නුවරින් ආරම්භ කළ පා ගමන එදා නතර වූයේ කඩුගන්නාවේය. භික්ෂූන් වහන්සේ හැරුණු විට බෙහෙවින් අවධානයට ලක් වූ දසුනක් පා ගමනෙහි විය.

"සුදු වතින් සැරසුණු මැදි වයසේ පුද්ගලයෙක් බුදුපිළිම වහන්සේ නමක් හිසමත තබාගෙන පා ගමන අවසන් වෙන තෙක් ගමන් කිරීමට එක් වුණා. ඔහු පා ගමන පටන් ගැනීමට පෙර දළදා මාලිගාව ඇතුළට ගිහින් දළදා වහන්සේ වැඳ දසසිල් සමාදන් වෙලා තිබෙනවා. ඉන් පසු ඔහු එක අධිෂ්ඨානයකින් බුදුපිළිම වහන්සේ ඉමහත් ගෞරවයෙන් , ශ්‍රද්ධා භක්තියෙන් හිස මත තබාගෙන ගමන් කරන්නට පටන් ගත්තා. ඇත්තෙන්ම ඔහු ගමනාරම්භයේ සිට අවසානය දක්වා බුදුපිළිම වහන්සේ හිස මත තබාගෙන පැමිණියා. ඒක ඔහුට භාවනාවක් වුණා. දසසිල් සමාදන් වෙලා සිටි ඔහු දවල් දොළහෙන් පසු ආහාර ගත්තේ නැහැ. රාත්‍රි ආහාර ගත්තෙත් නැහැ. ඒ තරම් කැප වෙලා පේ වෙලා තමයි ඔහු ගමන් කළේ."

දින කිහිපයක් පෙළපාළියේ ගමන් කළ ජාතික සංඝ සම්මේලනයේ ලේකම් වත්තේහේනේ විජිත හිමියෝ අප සමග එසේ පැවසූහ. එමගින් පැහැදිලි වනුයේ භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය බලහත්කාරයෙන් ගැලවීම සිංහල බෞද්ධ ජන විඥානයට ඉතා තදින් දැනුණු කම්පනයක් බව යැයි විජිත හිමියෝ පවසති.

දැන් පා ගමනේ දෙවැනි දවසය. ඒ ඔක්තෝබර් 11 දාය. කඩුගන්නාව කන්ද බැසගෙන භික්ෂූන් වහන්සේ සහ ගිහි උපාසක උපාසිකාවෝ ක්‍රමයෙන් කෑගල්ලට ළඟා වූහ. ඉඳහිට වැසි ඇද හැලිණි. එහෙත් ගමන නතර වූයේ නැත. භික්ෂූන් වහන්සේ මාර්ගයේ ගමන් කරන වාහනවලට අවහිරයක් නොවන පරිදි පා ගමනෙහි නිරත වීමට වගබලා ගත්හ.

"මෙවැනි පා ගමනකදී රථවාහන පොලිසියේ රාජකාරී වැඩි කළ යුතු වුවත් බොහෝ තැන්වල අප රථ වාහන පොලිසියේ නිලධාරීන් දුටුවේ නැහැ. සාමාන්‍යයෙන් ආලෝක සංඥා පුවරු අසල වෙනදා මෙන් රාජකාරි කළ නිලධාරීන් දැකගත හැකි වුවත් වැඩිපුර යෙදෙවූ අය නොසිටි තරම්. එහෙත් අපේ භික්ෂූන් වහන්සේ ඉතාම සංවරශීලීව ගමන් කිරීම නිසා වාහන ගමනාගමනයට ගැටලුවක් වුණේ නැහැ"

පා ගමනට මුල සිටම එකතුවූ ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල සාසන රතන හිමියෝ පවසති. මහජනතාවට පීඩාවක් නොවන ආකාරයට පා ගමනෙහි නිරත විය යුතු බව මුල සිටම භික්ෂූන් වහන්සේ තීරණය කළ බව උන්වහන්සේ පෙන්වාදෙති. ඒ වගේම මග තොටේදී විවිධ මර උගුල් අටවා තිබිය හැකි බවත් ඒවාට පටලවාගෙන භික්ෂූන් වහන්සේ සහ ගිහියන් ගැටුමට පෙලඹවීමට ඉඩ තිබිය හැකි බවත් භික්ෂූන් වහන්සේ මුල සිටම අවබෝධ කරගත්හ. ඒ නිසා පා ගමනට එරෙහි පාර්ශ්ව විසින් විසි කරනු ලබන කුණු වලින් කලබල නොවිය යුතු බව උන්වහන්සේ තීරණය කළ බවත් සාසන රතන හිමියෝ පෙන්වා දෙති.

කෑගල්ල පහුකරගෙන භික්ෂූන් වහන්සේ වරකාපොළ දෙසට වැඩම කරන විට තමන් වහන්සේගේ නිරීක්‍ෂණයට ලක් වූ අපූරු සිදුවීම් කිහිපයක් ද සාසන රතන හිමියෝ අප සමග පැවසූහ.

"වරකාපොළ දෙසට භික්ෂූන් වහන්සේ සන්සුන් ගමනින් වැඩම කරන විට මුස්ලිම් පවුල් කිහිපයක්ම අප දෙස බලාගෙන සිටියා. ඔවුන් මුස්ලිම් බැතිමතුන්නෙ. ඔවුන්ට අපට වඳින්න පුදන්න බැහැනේ. නමුත් ඉතාම මිත්‍රශීලී දෑස්වලින්, සුහද සිනාවෙන් ඔවුන් භික්ෂූන් වහන්සේ පිළිගත්තා. උන්වහන්සේ දැක බලා ගැනීමට ප්‍රධාන පාරට පවුල් පිටින් පැමිණියා. ඒකෙන් පැහැදිලි වෙනවා අපේ පා ගමනට ආණ්ඩුව සහ වෙනත් බලවේග විරුද්ධ වුණත් සිංහල මුස්ලිම් සහ දෙමළ සාමාන්‍ය ජනතාව විරුද්ධ නැති බව."

සාසන රතන හිමියෝ පවසති.

පා ගමන අතරතුර තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන්ගේ මූලිකත්වයෙන් ඥානසාර හිමි නිදහස් කරගැනීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතුද කෙරිණි. එකී කටයුතු සඳහාද සිංහල , දෙමළ සහ මුස්ලිම් භේදයකින් තොරව සහයෝගය ලැබුණු බව පා ගමනෙහි වැඩි හිමිවරු කිහිප නමක්ම අප සමග පැවසූහ. විශේෂයෙන් මුස්ලිම් තරුණ තරුණියන් පෙත්සම සඳහා අත්සන් කළ අවස්ථා තිබුණු බව උන්වහන්සේ පවසති.

"ඥානසාර හාමුදුරුවන් නිදහස් කරගැනීම සඳහා ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට අප සූදානම් කරමින් තිබෙන මහජන පෙත්සමට මුස්ලිම් ජාතිකයන් තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් අත්සන් කරලා තිබෙනවා. ඒ වගේම දෙමළ ජාතිකයනුත් අත්සන් කරලා තිබෙනවා. උන්වහන්සේගේ චීවරය ගැලවීම සහ උන්වහන්සේට පොදු සමාව නොදීම සම්බන්ධයෙන් රටේ සිංහල දෙමළ මුස්ලිම් මහජනතාව යම් කම්පනයකින් පසුවන බව ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම කියන්න ඕන මෑත කාලයේ ආණ්ඩුවක ක්‍රියාමාර්ගයකට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා වැඩිම භික්ෂූන් වහන්සේ පිරිසක් සහභාගි වූයේ නම් ඒ මේ පා ගමනට. ඒක ඉතාම ඓතිහාසික කරුණක්."

භික්ෂූන් වහන්සේගේ සාම පා ගමනෙහි ප්‍රධාන ක්‍රියාධරයකු සහ ඥානසාර හිමියන්ට නිදහස ගැනීමට අත්සන් කරන මහජන පෙත්සම මෙහෙයවන තිත්තගල්ලේ ආනන්ද සිරි හිමිපාණෝ අපට එසේ සඳහන් කළහ. සැබවින්ම ඥානසාර හිමියන් සිරගත කිරීමට පෙරම උන්වහන්සේට ජනාධිපති පොදු සමාව යළි ගැනීම සඳහා මහජන පෙත්සමක් ආරම්භ කිරීමේ කටයුතු ආරම්භ කළේ තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන් විසිනි. උන්වහන්සේ සැප්තැම්බර් මස පුර පසළොස්වක පෝදා එකී කටයුතු ආරම්භ කළේ මිහින්තලේ කටු සෑයේදීය. භික්ෂූන් වහන්සේගේ චීවරය ගැලවීමට එරෙහිවීම ගිහි පැවිදි සියලු දෙනාගේ වගකීම බව අවධාරණය කරමින් මිහින්තලේ රාජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියෝ එකී කටයුතුවලට පූර්ණ සහයෝගය දුන්හ. ඒ අනුව චීවරයට යුක්තිය ඉටු කිරීමේ සහ ඥානසාර හිමියන්ට නිදහස ගැනීමේ මෙහෙයුම ආරම්භ වූයේ මිහින්තලා රාජමහා විහාරයෙනි. එක් පැත්තකින් එය ඓතිහාසික සංඥාවකි. බුදුන් වහන්සේගේ පණිවුඩය ලංකාවේ මහජනතාවට හඳුන්වා දුන් මිහින්තලාවෙන් භික්ෂූන් වහන්සේගේ චීවරය ගලවා දැමීමේ කුමන්ත්‍රණයට එරෙහි මෙහෙයුම ආරම්භවීම එකී ඓතිහාසික සංඥාවයි.

පා ගමන බස්නාහිර පළාත දෙසට පැමිණෙන විට සමහර තැන්වලදී මතභේදාත්මක තත්ත්වයන් ඇතිවූ අයුරු දැක ගත හැකි විය. වරකාපොළ පහු කරගෙන පා ගමන නිට්ටඹුව දෙසට පැමිණියේය. නිට්ටඹුවේදී තුන් නිකායටම අයත් භික්ෂූන් වහන්සේ රැසක් සහභාගි වී සිටි අයුරු දැකගත හැකි විය. නිට්ටඹුව නගරයට භික්ෂූන් වහන්සේ සන්සුන් ගමනින් පා ගමනේ යෙදෙන විට බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගේ හදවත් එක්තරා ආකාරයකින් සලිත කළ සිදුවීමක් දැක ගත හැකි විය. ඒ භික්ෂූන් වහන්සේ නමක් පාගමනෙහි වඩින භික්ෂූන් වහන්සේට දණ්ඩ නමස්කාරයෙන් ගෞරව කිරීමය. සුමේධ තාපසයන් දීපංකර බුදුරජාණන් වහන්සේට දණ්ඩ නමස්කාරයෙන් ගෞරව කළ අයුරු බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එහෙත් ඒ පිළිබඳ පැහැදිලි ජීවමාන දසුනක් අපට දැක බලා ගැනීමට හැකිවූයේ මෙකී චීවරයට යුක්තිය ඉල්ලා භික්ෂූන් වහන්සේ නිරත වූ පාගමනයේදීය.

පාගමන නිට්ටඹුවෙන් කඩවතටත් එතැනින් කොළඹ දෙසටත් ඇදෙන විට මහ වැසී ඇද හැලෙන්නට විය. එහෙත් භික්ෂූන් වහන්සේ තමන් වහන්සේගේ ගමන නතර කළේ නැත. පා ගමන ඉදිරියටම ඇදුණේය. මහජනතාවද වැස්ස බාධාවක් කරගත්තේ නැත. වැස්සෙන් හෙම්බත් වූ භික්ෂූන් වහන්සේට තේ කෝපිවලින් සංග්‍රහ කරන්නට වූහ. කොළඹ නගරයට ඇතුළුවීමට පෙර භික්ෂුන් වහන්සේ දහවල් දානය වැළඳීම සඳහා ගමන් කළේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනටය. එදා 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති කරවීම සඳහා පෙරමුණ ගත් සඟ බලවේගයට නායකත්වය දුන්නේ මේ විද්‍යාලංකාර බිමය. භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය දානය ප්‍රණීතව සකස්කර විද්‍යාලංකාර පිරිවෙනට රැගෙන විත් තිබුණේ උමන්දාව නිර්මාතෘ සමන්ත භද්‍ර හිමියන් විසිනි. කොළඹ නගරයට ඇතුළුවීමට ආසන්න වන විට පා ගමනට භික්ෂූන් වහන්සේ තුන් දහසකට ආසන්න පිරිසක් රැස්ව සිටි බව සඳහන් කළ යුතුය. සැබවින්ම තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන් ඉහත සඳහන් කළ පරිදි පා ගමනක් සඳහා මෑත කාලයේ ඒ ආකාරයට විශාල භික්‍ෂූන් පිරිසක් රැස්වූ වෙනත් අවස්ථාවක් නොමැත. විධිමත් ආරාධනාවක් නොමැතිව උන්වහන්සේ වැඩම කර තිබුණේ බුදුන් වහන්සේගෙන් සහ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබුණු චීවරයේ ගෞරවය වෙනුවෙනි.

පෑලියගොඩ දී කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ආචාර්ය කොටපිටියේ රාහුල හිමියන්ද රෝගාබාධවලින් පීඩාවට පත් වුවද පා ගමනට එක්වීම බොහෝ දෙනාගේ සිත් ශක්තිමත් කළ, පහන් කළ දර්ශනයක් විය. උන්වහන්සේ මුල සිටම ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිවත් ජනාධිපති සමාව යටතේ ඒ හිමියන්ට නිදහස හිමි විය යුතු බවත් අවධාරණය කළ මහ යතිවරයකි. විශේෂයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාව පා ගමනට නායකත්වය දුන් ආකාරය විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. එක් පැත්තකින් ඥානසාර හිමි එම පාර්ශ්වයට අයත් යතිවරයකි. රාජ්‍ය මර්දනයට එරෙහිව පොදු මහජන මතය වෙනුවෙන් පෙනී සිටීම කෝට්ටේ පාර්ශ්වයට ආගන්තුක දෙයක් නොවේ. මාදුළුවාවේ සෝභිත, බෙල්ලන්විල විමලරතන, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර, මුරුත්තෙට්ටුවේ ආනන්ද වැනි යතිවරුන්ද අයත් වනුයේ මෙකී පාර්ශ්වයටය. එකල ජේ.ආර්., ප්‍රේමදාස ජනාධිපතිවරු සමයේ අයුක්තියට එරෙහිව සටන් කළේ උන්වහන්සේ සිව්නමය. පොදුවේ විවිධ කරුණු පදනම් කරගෙන මතභේද ඇති කරගෙන සිටි භික්ෂූන් වහන්සේ එක් තැනකට රොක් වීම පා ගමන තුළ දැකිය හැකි වූ සුවිශේෂ ලක්ෂණයකි. පළාත්, කුල නිකාය හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව බුද්ධ පුත්‍රයන් හැටියට භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් මෑත කාලයේ එක් වූ අවස්ථාවක් සේ එය සැලකිය හැකි බව සඳහන් කළ යුතුය. විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් මේ පා ගමනට ග්‍රාමවාසී පමණක් නොව ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේද විශාල පිරිසක් දෙපාවලට පාවහන්ද නොමැතිව එක්ව සිටීමය. එය සුවිශේෂ දර්ශනයක් විය. සාමාන්‍යයෙන් උන්වහන්සේ විරෝධතා ව්‍යාපාරවලට එක් වන්නේ නැත. කොළඹ නගරයට මහ වැසි මැද ඇතුළු වූ භික්ෂූන් වහන්සේ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්වූයේ රටේ ජනාධිපතිවරයාගෙන් පිළිතුරක් අපේක්ෂාවෙනි. එහෙත් ඒ වන විට ජනාධිපතිවරයා එහි සිටියේ නැත. තරමක් වේලාව ගත වූ පසු ජනාධිපති නියෝජනය කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකසේම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්තිද භික්ෂූන් වහන්සේ හමුවට පැමිණියෝය. ජනාධිපති කාර්යාලයට එන මෙවැනි විරෝධතා පා ගමන් ජේ.ආර්. ජයවර්ධන යුගයේ සිට දක්නට ලැබිණි. එනමුත් කිසි දවසක ජනාධිපති ලේකම්වරයා කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාකරුවන් හමුවූයේ නැත. ඔවුන් පැමිණ සිය පාර්ශ්වයෙන් කරුණු දැක්වුවද කොතැනක හෝ අවුලක් වී තිබෙන බව ඔවුන්ගේ කතාවෙන්ද පැහැදිලි විය. එහෙත් නිශ්චිත පිළිතුරක් භික්ෂූන් වහන්සේට දීමට ඔවුන් සමත් වූයේ නැත. ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව යළි ලැබෙනු ඇති බව භික්ෂූන්ගේ විශ්වාසයයි. එහෙත් එසේ සමාව ලබාදීම පිළිබඳ නිශ්චිත කාල රාමුවක් අවශ්‍ය බව ගාලුමුවදොරට රැස්වූ භික්ෂූන් ඇතුළු සිව්වනක් පිරිසේ මතය විය. ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාව ලැබේද ? අහිමි වූ චීවරයේ ගෞරවය තහවුරු කිරීමට භික්ෂූන් වහන්සේ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න නිශ්චිතව තවම සඳහන් කළ නොහැකිය.

වරුණ අබේසේකර

 

More News..