වීදි සතුන් 160කට සරණ වන සත්පුරුෂ රාලහාමි
14 November 2026
වීදි සතුන් 160කට සරණ වන සත්පුරුෂ රාලහාමි
14 November 2026
පොලිසිය කෙරෙහි මහජනයා තුළ ඇත්තේ එතරම් සුබවාදී ආකල්පයක් නොවේ. ඇතැම් පොලිස් නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාප මීට හුදෙක්ම හේතු වී තිබේ. අල්ලසට දූෂණයට යටවුණු ඇතැම් දූෂිත නිලධාරීන් මුළු මහත් පොලිස් දෙපාර්තමේන්තුවටම එක් කරන කළු පැල්ලම සුළුපටු නොවේ. එවන් හේතූ නිසා බොහෝ පිරිස් පොලිසිය ගැන කතා කරනුයේ දැඩි කලකිරීමකිනි. ඒ අතර මානව හිතවාදී ගුණයෙන් පිරුණු නිලධාරීන් ද පොලිසියේ නැත්තේම නොවේ. එවන් මනුස්සකමෙන් පිරුණු නිලධාරීන් සිටිත් ද ඒ ඇත්තේ ද අතළොස්සකි. උප පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ ද එවන් මනුස්සකමෙන් පිරුණු නිලධාරියකි. මිනිසාට මෙන්ම සතා සිව්පාවාට පවා ආදරය, කරුණාව දක්වමින් සිය රාජකාරිය නොපිරිහෙළා ඉටුකළ ඔහු අපට හමුවූයේ අම්පාර පොලිස් කොට්ඨාසයෙනි.
පොලිස් කොස්තාපල්වරයකු ලෙස 1987 වසරේ පොලිස් සේවයට එක්වූ ඔහු මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව වසර 40ක් රාජකාරි කොට ඉකුත් දා විශ්‍රාම ලැබූවෙකි. ඒ, වසර 40න් වසර 16ක්ම ඔහු කාලය ගතකර ඇත්තේ අහිංසක, අසරණ, රෝගාතුර වූ සතා සිව්පාවා සමග වීම විශේෂත්වයකි. වීදි සතුන්ට ආහාර ලබාදෙන අම්පාරේ මෙම එස්.අයි. මහත්තයා ගැන අම්පාරේ බොහෝ පිරිස් කතා කරනුයේ හද පිරි සෙනෙහසිනි, ළෙන්ගතුකමකිනි. සේවය නිම වී නිවෙස බලා යන ඔහු ඉන් අනතුරුව පැය හතරක් පහක්ම ගත කරනුයේ අහිංසක, අසරණ සතුන් සමගිනි. සතා සිව්පාවා ද රාත්‍රි ආහාරය රැගෙන පොලිස් මහත්තයා එනතුරු බලා සිටින්නේ මහත් වූ නොඉවසිල්ලකිනි. තමා අතින්ම පිසින බත් වේල සිය යතුරුපැදියේ බැඳගෙන පැමිණෙන සරත් මහත්තයා, සුනඛයන් බත් කා අවසන් වනතුරුම මහමගට වී ඒ දෙස බලා සිටින්නේ ඉතාමත් සතුටිනි.
‘මම මේ පුණ්‍යකර්මය අවුරුදු 16ක් තිස්සේ කරනවා. අම්පාර කියන්නේ දුෂ්කර පළාතක්. බොහොමයක් වීදි සුනඛයන් ඉන්නේ කන්න බොන්න නැතිව අසරණව. මම රාජකාරියට යනකොට එනකොට ඉස්පිරිතාලේ ගාව, හන්දි ගානේ, වීදි ගානේ කන්න විදිහක් නැතිව ඉබාගාතේ ඉන්න සත්තු දකිනවා. සමහරක් අය මේ සතුන්ට කන්න දෙන්න විදිහක් නැතිව පන්සලට ගෙනිහින් දානවා. මහ සතා නැතිව පැටව් විතරක් කාඩ්බෝඩ් පෙට්ටියක දාලා ගෙනැත් පන්සල ළඟ අතහැරලා දාලා යනවා, පන්සලෙන් හරි කන්න දේවි කියලා හිතාගෙන. සමහරක් සත්තු රෝගාතුර සත්තු, අතපය පණ නැති සත්තු, අනතුරුවලට ලක්වුණු සත්තු.
එවුන් පාරේ තියෙන පොලිතීන් බෑග් ඇද ඇද කෑම හොයනවා මම දකිනවා. එහෙම දකිද්දි මට එවුන් ගැන පුදුම දුකක් අනුකම්පාවක් ඇතිවුණා. උන්ට කතා කරලා බඩගිනියි කියලා බත් ටිකක් කන්න ඉල්ලන්න හැකියාවක් නැහැනේ. ඒ නිසා මම හිතුවා මේ අසරණ සුනඛයන් වෙනුවෙන් මගේ වැටුප හරි වියදම් කරලා කෑම ටිකක් අරන් දෙන්න ඕන කියලා. ඒකට මගේ ගෙදර ලොකු ඉඩක් තිබුණේ නැහැ. මීට අවුරුදු 16කට කලියෙන් මම මේ ගැන පන්සලේ හාමුදුරුවන්ට කිව්වා. එතකොටත් විවිධ පුද්ගලයන් විසින් බලු පැටව් 16ක් විතර පන්සලට දාලා ගිහින් තිබුණා.’
ඒ වනවිට විහාරස්ථානයේ වැඩ සිට ඇත්තේ කිරිඳිවැල සෝමරත්න හිමිය. පසුකාලීනව උතුරු නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝ නායක වූයේද උන්වහන්සේය. සරත් මේ බව උන්වහන්සේට පැවැසීමෙන් පසු විහාරයේ මුළුතැන් ගෙයින් කොටසක සතුන්ට ආහාර පිසීම සඳහා අවසර හිමිවිය.
‘මුල් කාලයේ මට පඩියෙන් රුපියල් එක්දහස් පන්සීයක් විතර වියදම් වුණා. ඒ කියන්නේ මීට අවුරුදු 16කට විතර කලියෙන්. හාමුදුරුවොත් උපදෙස් දීලා තිබුණා දානයට ගේන කෑම ඉතිරි වුණොත් මට දෙන්න කියලා. සමහර දාට හාමුදුරුවොත් හාල් ටිකක් එහෙම මට දුන්නා. මම හතර හමාරට වැඩ ඇරිලා මගේ බයිසිකලෙන්ම පන්සලට එනවා. ඇවිත් හාල්, සැමන්, සත්තු කන මස් එහෙම අරගෙන ඒවා උයනවා. පොලිසියේ ඉඳන් පන්සලට කිලෝමීටර් එකහමාරක් විතර ඇති. උයලා සේරම අනලා ගිහින් සත්තුන්ට කන්න දෙනවා. ටික දවසක් යනකොට කන්න ඉන්න සත්තු ටික වැඩිවුණා. එතකොට වැඩියෙන් උයන්න වෙනවා. දැන් පූජා භූමියේ විතරක් සත්තු 48ක් විතර කන්න ඉන්නවා. ටිකෙන් ටික මම මේ ප්‍රමාණය වැඩිකර ගත්තා. පූජා භූමියේ සත්තු සේරටම කන්න දීලා ඉන්පස්සේ කෑම බකට් එකත් සයිකලේ බැඳගෙන ගෙස්ට් හවුස් එක දිහාවට ගිහින් ඒ පැත්තේ ඉන්න අසරණ රෝගාතුර බඩගිනි සත්තුන්ට කෑම බෙදාගෙන ගියා. ඉන්පස්සේ කල්මුණේ හන්දියට ගිහින් ටොයොටා කම්පැනිය පැත්තෙන් නවගම්පුරට හැරෙන හන්දිය වයිට් හවුස් එස්.පී. ඔෆීස් එක අවට සේරටම කෑම බෙදුවා.’
සරත් කියන්නේය.
මේ සඳහා පසුකාලීනව රුපියල් 80,000ක පමණ වියදමක් දරන්නට වූ බවද හෙතෙම පවසයි. ඔහු මේ සඳහා තම වැටුප වියදම් කරන්නේය.
‘මම මේ කෑම හදන්න භාජන ඉල්ල ඉල්ල යන එක හොඳ නැති බව දැනගෙන අම්පාරේ තියෙන ආයතනයකින් කෑම පිසින භාජන ගත්තා. ඒකටත් මම රුපියල් 48,000ක් වියදම් කළා. ඒ සේරම මගේ වැටුපෙන් තමයි ගත්තේ. සමහර දාට මට හිතවත් අයත් දායක වුණා.’
ඔහු පවසන්නේ මෙම වැඩපිළිවෙළට අම්පාර ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙන දුන් සහාය ඉතා අගය කොට සලකන බවයි. සේවය නිමකොට ඔහු කෙළින්ම යන්නේ පිරිවෙනටය. ඉන් අනතුරුව සතුන් වෙනුවෙන් ආහාර පිසීම අරඹන ඔහු ලීටර් 20ක බකට් එකට කෑම දමාගෙන වීදි සහ නගරය අවට සැරිසරමින් සුනඛයන්ට ආහාර ලබාදීමෙන් මහත් සතුටක් ලැබුවේය. සුනඛ සේනාවට එය රස බොජුනක් විය. කුසගිනි නිවෙන තුරු කෑම කෑ සුනඛයෝ මහ හඬින් සතුටට පත්ව කෑගසන්නෝය. සරත් පසුපස දිවයමින් නගුට වනමින් කළගුණය පෙන්වන්නේය. ඒ අනුව වසර 16ක් පුරාම සිය සේවය අවසන් කොට නිවෙස බලායෑම වෙනුවට අම්පාර පිරිවෙනට ගොස් සතුන්ට ආහාර ලබාදීමේ කර්තව්‍යයේ ඔහු නිරත විය. මේ වනවිට එක් ආහාර වේලක් සඳහා හාල් කිලෝ දහයක පමණ බතක් පිසීම සිදුවෙයි. මීට වසර ගණනාවකට පෙර සතුන් 16 දෙනකුගෙන් ඇරැඹුණු මෙම සද්ක්‍රියාවට අද වනවිට වීදි සතුන් 160 දෙනකු පමණ එකතු වී තිබේ.
මෙම කෑම වේල සතුන්ට රිසි සේ රසකින් යුතුව සැකසීම සරත්ගේ එකම අදිටන වේ. ඒ සඳහා බතට අමතර සතුන් වෙනුවෙන් සකසන මස්, මාළු හෝ සැමන් එක්කර ගැනීමත් සිදු කෙරේ. සුප් කැට දෙක තුනක් ද බතට දැමීම ඔහුගේ පුරුද්දක් වී තිබේ. පිරිසුදුව, පිළිවෙළට රසට කෑම වේල ලබාදීම සරත්ගේ එකම අභිප්‍රායයි.
‘මම මේ සඳහාම ප්ලාස්ටික් පිඟන් කිහිපයක් මිල දී ගත්තා. සමහර සත්තුන්ට පත්තර පිටුවලට දාලා තමයි කන්න දෙන්නේ. එවුන් කාලා ඉවර වෙලා යනකම්ම මම බලාගෙන ඉන්නවා. ගියාට පස්සේ බත් දාපු පත්තර කොළය පවා පාරේ දාන්නේ නැතිව මම අරගෙන ගිහින් කසළ බඳුනකට දානවා. හැමදාම මම ඕක කරගෙන ගියා. හදිසියේවත් මට එක දවසකට කෑම වේල දෙන්න බැරි වුණොත් මිතුරකුට සල්ලි දාලා සත්තුන්ට කෑම දෙන්න අවස්ථාව හදලා දෙනවා. කවදාවත් මම එක සතෙක්වත් බඩගින්නේ තියන්නේ නැහැ. මම කෑම දෙන එක දැන් පුරුද්දක් වෙලා. හවස් වෙනකොට එයාලා මම එන පාර දිගේ රැඳිලා ඉන්නවා. අහිංසක සත්තු 160කගේ විතර කුසගින්න නිවෙනකොට මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ.’
සරත් මේ සියල්ල කළේ පොලිසියෙන් ලැබෙන සොච්චමින්ය. කොස්තාපල්වරයකුට එතරම් ලොකු වැටුපක් ලැබෙන්නේ නැත. කොස්තාපල් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම සඳහා වසර 40ක කාලයක් රාජකාරි කිරීමට ඔහුට සිදුවිය. ඔහු සමග සේවයට බැඳුණු ඇතැම්හු පොලිස් අධිකාරී තනතුර දක්වා උසස්වීම් ලැබූවද සරත් විශ්‍රාම යනතුරු සිටියේ එස්.අයි. තනතුරේය.
‘ඒ, මම ලබා උපන් හැටි වෙන්න ඇති.’
BAO-6077 යතුරුපැදිය ඔහුගේ ඇස් දෙක මෙන්ය. වීදි සුනඛයන් ද සරත්ගේ යතුරුපැදිය හොඳින් හඳුනන්නේය. යතුරුපැදියේ හඬ ඇසූ පමණින් නගුට වන වනා සරත් වටා රොක්වෙන සුනඛයන් දැක සරත් සතුටින් ඉපිළෙන්නේය. එය දකින්නට ප්‍රිය උපදවන්නකි. සරත් මේ සියල්ලම කරනුයේ තනිවමය. ආහාරපානාදිය රැගෙන එන්නේ තනියෙන්ය. උයන්නේ තනිවමය. කෑම පිසීම කරන්නේද ඔහු විසින්මය. පිසින ලද කෑම භාජනයක දමා ගෙන ගොස් සතුන්ට බෙදා දෙන්නේ තනිවමය.
‘මගේ බයික් එකේ සද්දය ඇහෙනකොට බල්ලෝ කන් දෙක උඩ තියාගෙන නැට්ට වන වනා ඉන්නේ. මට ඒක දකිනකොට හරිම සතුටක් දැනෙනවා මහත්තයෝ.’
සවස 4.30ට ඇරැඹෙන මෙම පුණ්‍යකර්මය අම්පාරට වැසි වැටෙන දාට රාත්‍රි 10.00 දක්වා ඇදෙන්නේය. අධික වර්ෂාව ඇද හැලෙන දිනයන්ට හෝ උයා ගැනීමට බැරිවුණු දාට හෝ සුනඛයෙක් බඩගින්නේ තැබීමට ඔහුගේ සිත ඉඩදෙන්නේ නැත.
‘එදාට මම ලොකු මාරි බිස්කට් පැකට් ටිකක් ගෙනැල්ලා ඒවා බෙදාගෙන බෙදාගෙන යනවා. එහෙත් ඒක මදි කියලා මට තේරෙනවා. මොකද, සත්තු පුරුදු වෙලා තියෙන්නේ බත්වලට. එදාට මටත් දුකයි.’
සරත් දරුවන් හයදෙනකුගෙන් යුත් පවුලක දෙවැන්නාය. ලොකු අයියා මේ වනවිට ස්වාමීන් වහන්සේනමක් ලෙස විහාරයක වැඩ සිටී. අනික් අය සොහොයුරියන්ය. මහියංගණ පොලිසියට අනුයුක්තව මුල්ම රාජකාරිය අරඹන (11049) සරත් 88 - 89 කාලවල ගම්පොළ පොලිසියට මාරුවීමක් ලැබ එහි රාජකාරි කරන්නේය. නැවත අම්පාර කොට්ඨාසයට පැමිණෙන ඔහු, පොලිස් අධිකාරිවරුන් රැසක් යටතේ සිය රාජකාරිය ඉටු කළ අයකි.
‘1990.06.11 තමයි තිරුක්කෝවිල් පොලිස් වසමේ දී පොලිස් නිලධාරීන් 600ක් ඝාතනයට ලක්වෙලා එස්.ටී.එෆ්. එකෙන් ඒ නිලධාරීන්ගේ මළසිරුරු සොයාගත්තේ. ඒ කාලේ ඒ පැත්තේ එල්ටීටීඊය දරුණු ලෙස ව්‍යාප්ත වෙලා තිබුණේ. මේ සිදුවීම අපි සේරම කම්පාවට පත්කළ සිදුවීමක් වුණා. එල්ටීටීඊය නිරායුද මේ නිලධාරීන් වෙඩි තියලා මරලා දාලා තිබුණා. එතකොට ඒ.එස්.පී. හිටියේ රවි විජේගුණවර්ධන කියලා සර් කෙනෙක්. ඒ සර් මට කිව්වා මේ නිලධාරීන්ට මතක වස්ත්‍ර පූජා කරලා පාංශකූලය දෙන්න හාමුදුරුනමක් හොයාගෙන එන්න කියලා. කවුරුත් පන්සල්වලින් එළියට බහින්න බයවුණා එල්ටීටීඊ එකෙන් මරාවි කියලා. මම ඒ පැත්තේ පන්සල්වලට ගිහින් හාමුදුරුවන්ට ආරාධනා කළා පාංශකූලයට වඩින්න කියලා. ඒත් හාමුදුරුවරු අදිමදි කළා.
නිලධාරීන්ගේ මළසිරුරු ඇට කැබලි හොයාගත්ත දාට පහුවැනිදා තමයි පාංශකූලය ලෑස්ති කරලා තිබුණේ. එකම ස්වාමීන් වහන්සේ නමක්වත් වැඩියේ නැහැ, මැරුම් කන්න වෙයි කියලා බයට. එතකොට කිරිඳිවැල සෝමරත්න නායක හාමුදුරුවෝ අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ වැඩ හිටියේ. මම උන්වහන්සේට ගිහින් කිව්වා. ‘මහත්තයෝ කිසි දේකට බය වෙන්න එපා. අපි එනවා. මගේ ගුරුදේව උන්වහන්සේ ඇතුළු 31 නමක් ඝාතනය වුණා අරන්තලාවේදී. මේ නිසා කිසිම දේකට මම බය නැහැ. අපි ගිහින් ඒ වැඩේ කරමු’ කිව්වා. ‘මතක වස්ත්‍ර පූජා කරලා පාංශකූලය දීලා එමු’ කියලා උන්වහන්සේ එක සැණින්ම කැමැති වුණා. පොලිස් ආරක්ෂාව දාලා හාමුදුරුවරු රූපස්කුලම් කිංචිකුඩිච්චආරු සිද්ධිය වූ ස්ථානයට එක්කන් ගිහින් අපේත් ආරක්ෂාව සහිතව ගෙනැත් බැස්සුවා.
දැන් පොලිස් අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහත්තයා තමයි ඒ කාලේ එස්.ටී.එෆ්. එකේ බුද්ධි අංශය භාරව හිටියේ. එයා ඇතුළු කණ්ඩායම තමයි එස්.ටී.එෆ්. එකේ මේ නිලධාරීන්ගේ සිරුරු වළ දමා තිබියදී හොයාගත්තේ. අතපය ගැට ගහලා, ඇස් බැඳලා වෙඩි තියලා පුච්චලා තමයි මේ නිලධාරීන්ව මරලා දාලා තිබුණේ.’
සරත් මතකය අවදි කරමින් කියන්නේය. සිය පොලිස් සේවය තුළ සිදුවූ අමිහිරි අත්දැකීමක් ලෙස එම සිද්ධිය හඳුන්වන ඔහු සසර වසනතුරු එවන් ඛේදනීය සිදුවීමක් දකින්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරන්නේය. තම සහෝදර නිලධාරීන් අමානුෂික ලෙස ඝාතනය කර තිබීම සියැසින් දැකීම තවමත් දරාගත නොහැකි සිදුවීමක් බවද ඔහු පවසන්නේය.
සුනඛයන්ට පමණක් නොව, අයාලේ යන අම්පාර ප්‍රදේශයේ ගවයන් වෙනුවෙන් ද ඔහු ඇපකැප වන්නේය. පශු වෛද්‍යවරුන් පවා මියයාවි යැයි සිතූ වසු පැටවකුට අවශ්‍ය බෙහෙත් ලබාදී වසු පැටවාගේ ජීවිතය බේරා ගැනීමට ඔහු වරෙක කටයුතු කළේය. තවත් වරෙක රෝගාතුර වූ ගවයකුගේ කකුලක් කැපීමට වෛද්‍යවරු තීරණය කර තිබිණ. ඒ බව දැනගත් සරත්, රුපියල් 15,000ක මුදලක් ලබාදී ප්‍රතිකාර කිරීමෙන් පසු ගවයාගේ ජීවිතය බේරාගැනීමට හැකිවිය. මරණය පෙනි පෙනී ජීවිතයත් මරණයත් අතර සිටි එවන් ගවයන් හතර දෙනකු සරත්ගේ නොමඳ උත්සාහය නිසා බේරාගැනීමට හැකිවී ඇත. එම ගවයන් මේ වනවිට සුවයෙන් පසුවන අයුරු දැක සරත් මහත් ආස්වාදයක් ලබන්නේය.
හෑගොඩ ඉන්ද්‍රසාර හිමිගේ සහ කිරිඳිවැල සෝමරත්න හිමිගේ ඇසුර සරත්ගේ මෙම උතුම් ක්‍රියාවට බෙහෙවින් ඉවහල් විය. හිටපු පොලිස් නිලධාරියකු වූ සරත්ගේ පියා වූ දිවංගත විතානගේ විජේසිංහ සහ යසවතී මෑණියන්ගේ මව්පිය සෙනෙහස මොහුගේ මෙම මහඟු පුණ්‍යකර්මය පසුපස වූයේය. තම පෞද්ගලික ධනය එතරම් විශාල නොවූවද පොලිස් රාජකාරියෙන් අවංකව ලබන වැටුප අසරණ, අහිංසක සතුන් වෙනුවෙන් වියදම් කොට වැටුප අහිමිව අත පිහදාගෙන සතුටින් ගෙදර යන මෙවන් නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි කිරීම සතුට දනවන්නකි.
සරත් සම්බන්ධ තොරතුරු සොයද්දී අපට තවත් කාරණාවක් දැන ගන්නට ලැබිණි.
‘දවසක් අම්පාර බේකරිය ළඟ කකුලක් තුවාල වුණු ගවයෙක් ඇවිදින්නට බැරිව හරිම වේදනාවෙන් ඉන්නවා සරත් මහත්තයා දැකලා තියෙනවා. එතැනම තියෙනවා ගුණසිරි බේකරිය. මෙයා ඒ බේකරියෙන් බනිස් ගෙඩි 15කුයි කෙසෙල් ගෙඩි කිලෝ 3කුයි අරගෙන මේ අසරණ ගවයා අම්පාර විද්‍යානන්ද පිරිවෙනට අරගෙන ගිහින් තිබුණා. හවස හතරට විතර තමයි වැඩේ පටන් අරගෙන තිබුණේ. පිරිවෙනට සතා අරගෙන යනකොට රෑ නවය විතර වුණා. කිලෝමීටරයක් විතර දුරක්. ගවයා හිටියේ හරිම අමාරුවෙන්, ඇවිද්දේ හරිම වේදනාවෙන්.
කකුලේ ඇණයක් ඇනිලා තිබුණා. තුවාලය නරක් වෙලා පණුවෝ පවා හිටියා. බනිස් ගෙඩියක් කෙසෙල් ගෙඩියක් පෙන්නනකොට ගවයා ටිකෙන් ටික ඉස්සරහට ඇදෙනවා, බොහොම අමාරුවෙන්. මෙහෙම පිරිවෙනට අරන් ගිය ගවයාට සත්කාර කරලා පහුවැනිදාම සරත් මහත්තයා ගිහින් පශු වෛද්‍යවරයා හමුවෙලා මේ බව කියලා තිබුණා. ‘අනේ ඩොක්ටර්... කීයක් ගියත් කමක් නැහැ. හෙට මට පඩි. මගේ ළඟ ලොකු සල්ලියක් නැහැ. මේ සතාට කතා කරන්න පුළුවන් නම් කියයි වේදනාව. කොහොම හරි සතාව බේරලා දෙන්න. මම මගේ පඩියම වියදම් කරන්නම්.’ කියලා කියලා තිබුණා.’
පශු වෛද්‍යවරයා වැඩේට බැස්සේය. අවසානයේ මහනුවරට ගොස් බෙහෙත් පවා රැගෙන එන්නට සරත්ට සිදුවිය. රුපියල් එක්ලක්ෂ විසිතුන් දහසක් අවසානයේ දී ඒ සඳහා වැය විය. ඔහු එම මුදල තම වැටුපෙන් මෙන්ම ඉතිරිය දන්නා කියන මිතුරන්ගෙන් ද ඉල්ලා ගත්තේය. ගවයාගේ පාදය ඉවත් කිරීමට මුලින් තීරණය කර තිබුණ ද කළ ප්‍රතිකාරයෙන් පාදය බේරාගැනීමට වෛද්‍යවරයාට හැකිවිය.
‘අදත් ඒ හරකා දකිද්දි සරත් මහත්තයා හරිම සතුටක් ලබන්නේ. ‘ආ... සුද්දා’ කියලා කිව්වම ඒ සතා සරත් මහත්තයා ළඟට එනවා. එතකොට සරත් මහත්තයාගේ ඇස්වලට කඳුළු එනවා. සරත් මහත්තයා කියන්නේ පුදුමාකාර නිලධාරියෙක්.’
සරත්ගේ හිතවතෙක් අපට කීවේය.
සුනඛයන්ට ජලභීතිකා එන්නත් කිරීම, කුෂ්ඨ රෝගයෙන් පෙළෙන සහ තුවාල ලැබූ සුනඛයන්ට ප්‍රතිකාර කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සඳහා පිට ප්‍රදේශවලට ගොස් පශු වෛද්‍යවරුන් අම්පාරට ගෙන්වා සැත්කම් සිදුකිරීමට පවා සරත් කටයුතු කර තිබීම ද මෙහිලා විශේෂයෙන් සඳහන් කළයුතු වන්නේය.
මෙවැනි පුණ්‍යකර්මවලට දායක වුවද ඔහු සිය රාජකාරිය කිසි දිනෙක පැහැර හැරියේ නැත. ඒ නිසාම ඔහු වරෙක ලංකාවේ පොලිස් කොට්ඨාස අතරින් දක්ෂතම සහ කාර්යශූර නිලධාරියා ලෙස ඇගeයීමට ලක්විය. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා වූ හෙතෙම, ඉකුත් සැප්තැම්බර් මස 22 වැනිදා පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබීය. ඒ වනවිට ඔහු රාජකාරි කරමින් සිටියේ අම්පාර කොට්ඨාස රණවිරු ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙසය.
සරත් එක්දරු පියකි. ඔහුගේ බිරිය අම්පාර මහජන බැංකුවේ සේවය කරන අතර, පුතු අම්පාර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රාජකාරි කරන්නේය. මෙම මහඟු පුණ්‍යකර්මයට සරත්ට ඔවුන්ගෙන් ලැබෙන පිටිවහල ඉමහත්ය.
කීර්ති මෙන්ඩිස්


