brand logo
logo
පීඩනය වැඩිවී ට්‍රැ‍‍​‍‍ෆික් OIC ගෙදර ගිහින්

පීඩනය වැඩිවී ට්‍රැ‍‍​‍‍ෆික් OIC ගෙදර ගිහින්

07 September 2026 | බිමල් ජයසිංහ - බණ්ඩාරගම

තමන්ට දිගින් දිගටම පැමිණෙන රාජකාරී පීඩනය මත මනස ව්‍යාකූල තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් රාජකාරී කිරීමට නොහැකි බවට සඳහන් කරමින් තාවකාලිකව රාජකාරී ස්ථානයෙන් පිටව ගිය දෙහිවල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගෙන තිබේ. 


පීඩනය වැඩිවී මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ ප්‍රනීත් උදයංග නමැති පොලිස් පරීක්ෂකවරයකුගේ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.


දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලිපියක් මගින් කළ දැනුම් දීමක් අනුව ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පොලිස් පරීක්ෂකවරයා එලෙස පිටව යාම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත නියෝගයක් ලබා දී තිබිණි.


ඒ අනුව ගල්කිස්ස සහකාර පොලිස් (2) ක හා දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාසයෙන් උපදෙස් ලබාගෙන නිලධාරියා විසින් සිදුකළ ක්‍රියාව අනෙක් නිලධාරීන්ට වැරැදි පූර්වාදර්ශයක් වන බව පවසා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් පරීක්ෂක ප්‍රනීත් උදයංග නිලධාරියාට නොතිසියක් හා ගුවන් ගමන් තහනමක් නිකුත් කරන ලෙස ඉකුත් 03 වෙනි දින අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ඔහුට අපරාධමය චෝදනාවක් අනාවරණය වන්නේ නම් මෙම මස 24 වැනිදාට අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කර තිබිණි.

එවන් පසුබිමක් තිබියදී නිලධාරියා විසින් සිදු කරන ලද විනය විරෝධී ක්‍රියාවෙන් ශ්‍රී ලංකා පොලිස් නියෝග ඒ 07 බි පරිච්ඡේදයේ විනය සංග්‍රහයේ සඳහන් වැරැදි සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවත් එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ඉකුත් 03 වැනිදා සිට රාජකාරී වැඩ තහනමට ලක් කර ඇති බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය විසින් නිකුත් කළ ලිපියක සඳහන්ය.


රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කටයුතු කළ පොලිස් පරීක්ෂක ප්‍රනීත් උදයංග ඉකුත් 02 වැනිදා දෙහිවල පොලිස් ස්ථානය වෙත පැමිණ රාජකාරී කිරීමේදී ඔහුගේ මනසට එල්ල වෙන පීඩනය සම්බන්ධයෙන් තොරතුරු පොතේ සටහන් යොදා පොලිස් ස්ථානයෙන් තාවකාලිකව පිටව ගොස් පසුදින එනම් 03 වැනිදා නැවත සේවයට වාර්තා කිරීම සඳහා පැමිණ ඇති අතර ඒ සඳහා ඔහුට අවසර ලබා දී නැති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


දෙහිවල පොලිස් වසමේ රථවාහන අංශයේ නිලධාරීන් ස්ථානගත කිරීම සඳහා ස්ථාන විස්සක් පමණ ඇති බවත් රථ වාහන අංශයට පමණක් පොලිස් නිලධාරීන් 40 ක් අවශ්‍ය වුවත් ඒ සඳහා 13 ක් පමණක් සිටියත් එම 13 දෙනාගෙන් පොලිසියේ වෙනත් අවශ්‍යතා සඳහා එම නිලධාරීන් යොමු කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


රථ වාහන අංශයේ අධිකරණ කටයුතුවල ලිපි ලේඛන පවා එහි ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරික්ෂකවරයාට සිදු කිරීමට සිදුව ඇති බවත්, මේ සියලුම වැඩ රාජකාරී බාධක මැද සිදු කළත් පොලිස් ස්ථානාධිපතිවරයා සුළු රථ වාහන තදබදයකදී කණිෂ්ඨ නිලධාරීන්ද ඉදිරියේ පොලිස් පරීක්ෂකවරයා වෙත දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.


මෙම පොලිස් පරීක්ෂකවරයා තිදරු පියකු වන අතර බාලම දරුවාට වයස මාසයක් බවද පවුලේ එකම ජීවන මාර්ගයද මෙම නිලධාරියා බවද ස්ථානාධිපතිවරයාගේ දැඩි පීඩනය හා අමානුෂික ක්‍රියාකලාපය මෙදින මෙම නිලධාරියාට වූ ගැටලුවට හේතු වී ඇති බවද පොලිස් ආරංචිමාර්ග කියා සිටීයි.


රාජකාරී පීඩන මත ඇතිවන මානසික අවුල් හමුවේ නිලධාරීන් බොහෝ දෙනකු අවස්ථානුකූලව මේ ආකාරයෙන් සටහන් යොදා පොලිස් ස්ථාථාවලින් බැහැරව ගියද බොහෝ අවස්ථාවල උසස් නිලධාරින් එම ආරවුල් අභ්‍යන්තරව විසඳීම සිදුකරන නමුත් ගල්කිස්ස කොට්ඨාසයේ උසස් නිලධාරීහු එසේ සිදු කර නොමැති බවද පොලිස් නිලධාරීන් බොහෝ දෙනකු චෝදනා කරති.

 

More News..