ක්ලීන් ශ්‍රී ලංකා සමග මදුරු මර්දනයට ජාතික වැඩසටහනක්
14 July 2026 | •ශිරාන් රණසිංහ
ක්ලීන් ශ්‍රී ලංකා සමග මදුරු මර්දනයට ජාතික වැඩසටහනක්
14 July 2026 | •ශිරාන් රණසිංහ
ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන හා එක් වෙමින් මාසයක් පුරා මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දැමීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සූදානම් වන බව එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ‘අරුණ’ට පැවැසීය.
දැනට ඩෙංගු වැලඳී ඇති බවට වාර්තා වන්නේ ඉකුත් සතියට පෙර ඩෙංගු වයිරසය ශරීරගතවූවන්ගේ යැයිද ඔහු කීවේය.
ඉදිරි සතිය හෝ සති දෙක තුළදී ලැබෙන දත්ත විශ්ලේෂණයක් මගින් ඩෙංගු පැතිර යාම අඩුවී තිබේද නැද්ද යන්න පිළිබඳව නිගමනය කළ හැකි බවද ඔහු පැවැසීය.
කෙසේ වෙතත් මේ වන විට බස්නාහිර පළාත ඇතුළු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 175ක සිදුකළ මදුරු මර්දන වැඩසටහන් මගින් මදුරු කීටයන් ඉවත් කර මදුරු ගහනය අඩුකිරීමට ක්‍රියාකළ බවත් මෙය දිගටම කරගෙන යාමට මහජනතාව පියවර ගත යුතු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
DEN-3 ඩෙංගු වයිරස් කාණ්ඩය මුලින් පැතිර ගියද පසුව DEN -2 වයිරස් කාණ්ඩය පැතිරයාම නිසා වසංගතයක් දක්වා තත්ත්වය වෙනස් වූ බවත් ඩෙංගු වයිරසය පරිසර පද්ධතියේ ඇති නිසා වාහකයා වන ඊඩිස් වර්ගයේ මදුරු මර්දනය, කීටයන් සහ සුහුඹුල් අවස්ථා දිගටම ඉවත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ වන විට ඩෙංගු රෝගීන් හමුවීමෙන් ගම්පහ දිස්ත්‍රික්කය පෙරමුණට පැමිණ ඇති අතර ගම්පහෙන් රෝගීන් 14112ක් වාර්තා වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 20.55කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,791ක් (20.8) සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4885ක් (7.11) හමු වී තිබේ.
දිනකට ඩෙංගු රෝගීන් 1500කට වඩා අලුතින් හමුවීම සැලකිල්ලට ගැනීමේදී තත්ත්වය පාලනය නොකළහොත් 2017 ඩෙංගු අධි වසංගතයට වඩා මෙම වසර දරුණු විය හැකි බවද ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරුද පවසති.

