Best News Website award
brand logo
logo
ප්‍රසූතියෙන් පස්සේ දරුවන්ගේ අම්මා ගැන අමතක කරන්න එපා

ප්‍රසූතියෙන් පස්සේ දරුවන්ගේ අම්මා ගැන අමතක කරන්න එපා

28 November 2026 | කුමුදු විජේරත්න

මවක් දරු ප්‍රසූතියකට සූදානම් වීමෙ දී පමණක් නොව දරු ප්‍රසූතියෙන් පසුවද තම සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු කාරණාවකි. එහිදී මව ගන්නා ආහාර, සනීපාරක්ෂාව, සමට දිය යුතු සත්කාර, කායික මෙන්ම මානසික සුවතාව, පිළිපැදිය යුතු වත් පිළිවෙත්, වැලකී සිටිය යුතු දේ ආදී සියල්ල පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඒ අනුව අද ලිපියෙන් ගෙන එන්නේ දරු ප්‍රසූතියෙන් පසුව මවකට සුදුසු ආයුර්වේද ප්‍රතිකර්ම පිළිබඳවයි.

මෙහිදී වඩාත් වැදගත් කාරණාවක් ලෙස මව ගන්නා අාහාර පිළිබඳ සැලකිලිමත් විය යුතුය. දරු ප්‍රසූතියෙන් පසු මවට පහසුවෙන් ජීර්ණය වන, පෝෂණයෙන් සපිරි ආහාර ලබාදීම වැදගත් වේ.


නිර්දේශ කළ හැකි ආහාර

1. රතු කැකුළු සහල් කැඳ

2. තැම්බුම් හොදි

3. මුං ඇට සහිත පෝෂ්‍යදායී ආහාර

4. හොඳින් පිසූ එළවළු සහ පලා වර්ග

5. කිරි මාළු, බිත්තර සහ ප්‍රෝටීන් බහුල ආහාර

6. සුප් සහ පෝෂ්‍යදායී කැඳ වර්ග

7. ප්‍රමාණවත් පිරිසුදු ජලය.


ආයුර්වේදයට අනුව උණුසුම්, පහසුවෙන් දිරවන ආහාර මගින් ආහාර ජීර්ණය පහසු කර ශරීරයට අවශ්‍ය පෝෂණය දෙයි.

මේ අතරින් විශේෂයෙන් දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන්ට දෙන සාම්ප්‍රදායික ආහාරයක් ලෙස තැම්බුම් හොද්ද ප්‍රසිද්ධය. සාම්ප්‍රදායික වට්ටෝරු අනුව වෙනස් විය හැකි නමුත් තැම්බුම් හොද්ද සැකසීමට කොත්තමල්ලි, සූදුරු, මහදුරු, සුදුලූනු, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කරපිංචා, රතුලූනු, සියඹලා හෝ ගොරකා භාවිත කරයි. මෙමගින්

ආහාර ජීර්ණයට සහාය වීම

බඩ පුරවා දැමීම වැනි අපහසුතා සමන ය කිරීමට සහාය වීම

ආහාර රුචිය වැඩි කිරීමට උපකාරී වීම දැක්විය හැකියි.


දරු ප්‍රසූතියෙන් පසු, මව්වරුන් නිසි ලෙස කිරි එරීම පවත්වා ගැනීම සඳහා මනා පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාර වේලක් ගැනීම අනිවාර්ය්‍ය වේ. ඒඅනුව මෙම ආහාර ගැනීම වඩාත් සුදුසු බව සඳහන් වේ.


පලා වර්ග

ධාන්‍ය හා ඇට වර්ග

පලතුරු

ප්‍රෝටීන් බහුල ආහාර

සාම්ප්‍රදායිකව භාවිත කරන කුළුබඩු

මුරුංගා කොළ

ගොටුකොළ

මුකුණුවැන්න

කංකුං

නිවිති

සාරණ

මුං ඇට

කව්පි

තල

කුරක්කන්

ආමන්ඩ්

කජු

රටකජු

වට්ටක්කා ඇට

සූරියකාන්ත ඇට

ආයුර්වේදයට අනුව මවක් ස්නානයේදී සැලකිය යුතු කරුණු කිහිපයක් ඇත. සාම්ප්‍රදායික ආයුර්වේද සත්කාරවලදී ඖෂධීය පත්‍ර යොදා සකස් කරන ස්නාන පිළිබඳ සඳහන් වන අතර නික, පාවට්ටා, බෙහෙත් එඬරු, කොහොඹ කොල වැනි ඖෂධ යොදා තම්බාගත් ජලය නිවෙන්නට හැර එයින් ස්නානය කළ හැකිය. එසේ නොහැකි නම්


l පිරිසුදු උණුසුම් ජලයෙන් ස්නානය කිරීම.

l ශරීරය පිරිසුදුව සහ වියළිව තබාගැනීම.

l යෝනි ප්‍රදේශය පිරිසුදු ජලයෙන් පමණක් මෘදුව පිරිසුදු කිරීම.

l ප්‍රසූතියේදී සිදු වූ මැහුම් තිබේ නම් ඒවා පිරිසුදුව හා වියළිව තබාගැනීම.


එමෙන්ම

l මවට ප්‍රමාණවත් ජලය දීම අනිවාර්ය වේ

l ප්‍රමාණවත් විවේකය මෙන්ම මවගේ අවශ්‍යතා වුවමනා එපාකම් මෙන්ම මානසික මට්ටම අනකුත් අය වටහා ගත යුතුය

l දරුවාට අවශ්‍ය පරිදි නිතර මව්කිරි දීමට අවධානය දිය යුතුය


දරු ප්‍රසූතියෙන් පසු මවට ශාරීරික සුවය පමණක් නොව මානසික සුවය ද අත්‍යවශ්‍ය වේ.

ප්‍රමාණවත් නින්ද සහ විවේකය දීම.

බර වැඩවලින් තාවකාලිකව ඈත් කිරීම.

පවුලේ සාමාජිකයන්ගේ සහාය දීම.

මානසික ආතතිය අවම කිරීම.

වෛද්‍ය උපදෙස් අනුව ක්‍රමයෙන් සැහැල්ලු ව්‍යායාම ආරම්භ කිරීම කළ යුතුය

මානසික අවපීඩනය, අධික බිය, නිතර හැඬීම හෝ දරුවා සමග සම්බන්ධ වීමට අපහසු වීම දිගටම පවතී නම් වෛද්‍ය උපකාර ගත යුතුය.


විශේෂයෙන් අනතුරු සංඥා පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එනම්

අධික යෝනි රුධිර වහනය හෝ විශාල රුධිර කැටි පිටවීම.

අධික උණ සහ දුර්ගන්ධ සහිත යෝනි ශ්‍රාවය.

දැඩි උදර වේදනාව.

දැඩි හිසරදය හෝ පෙනීම බොඳවීම.

හුස්ම ගැනීමේ අපහසුතාව හෝ පපුවේ වේදනාව.

තමන්ට හෝ දරුවාට හානි කිරීමට සිතුවිලි ඇතිවීම.

මෙවැනි අවස්ථාවක බලා නොසිට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය.


සූතිකා උන්මාදය යනු දරු ප්‍රසූතියෙන් පසු මවකට ඇතිවිය හැකි ඉතා බරපතළ මානසික සෞඛ්‍ය තත්ත්වයකි.


මෙය සාමාන්‍ය මානසික ආතතියක් හෝ දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන සුළු දුක්බර බවක් නොවේ. හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන තත්ත්වයකි.


ඇතිවීමට බලපාන කරුණු

හෝමෝන මට්ටම්වල හදිසි වෙනස්වීම්.

අධික නින්ද අහිමි වීම.

මානසික හා ශාරීරික පීඩනය.

ඇතැම් මානසික රෝග පිළිබඳ පූර්ව ඉතිහාසය.

ජානමය සහ වෙනත් ජීව විද්‍යාත්මක සාධක.

මෙවැනි අවස්ථාවලදී මවක් අසාමාන්‍ය ලෙස හැසිරීම් ලක්ෂණ පෙන්වයි.

අධික බිය සහ සැකය.

නින්ද නොයාම.

අන් අයට නොඇසෙන ශබ්ද ඇසීම.

නොපෙනෙන දේ පෙනීම.

අසත්‍ය විශ්වාස ඇතිවීම.

අධික උද්වේගය හෝ ව්‍යාකූලත්වය.

තමන්ට හෝ දරුවාට හානි කිරීමේ සිතුවිලි ඇතිවීම.


බොහෝ විට මෙම තත්ත්වය දරු ප්‍රසූතියෙන් පසු පළමු සති දෙක තුළ ආරම්භ විය හැකි නමුත් වෙනත් කාලවලදී ද ඇතිවිය හැකිය.


ආයුර්වේදයට අනුව ආයුර්වේදයේ සූතිකා කාලය තුළ වාත දෝෂයේ වෙනස්වීම් සහ මානසික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරයි. එහෙත් සූතිකා උන්මාදය සඳහා වාත දෝෂය පමණක් හේතුව ලෙස සැලකිය නොහැකිය. එම නිසා

වහාම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සිදු කළ යුතුය.

මවට ආරක්ෂිත පරිසරයක් සැලසීම වැදගත් වේ.

පවුලේ අයගේ සහාය ලබාදීම අනිවාර්යය.

වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ හා ප්‍රතිකාර ලබාදීම කළ යුතුය.

සූතිකා උන්මාදය දී විට මව තනිව නොතබන්න කටයුතු කළ යුතුය.


විශ්ෂයෙන්ම මතක තබගත යුතු වන්නේ මෙය මවගේ වරදක් නොවේ. නිසි ප්‍රතිකාර ලබාදුන් විට බොහෝ මව්වරුන්ට යථා තත්ත්වයට පත්වීමට හැකියාව තිබේ.


ටී.එම්. නුවන්තිකා හර්ෂණී

ආයුර්වේද වෛද්‍ය (සර්වාංග)


 

More News..