දෙවුන්දර ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි
21 February 2026
දෙවුන්දර ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි
21 February 2026
මාතර - දෙවුන්දරදී අද (21) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සිදුව ඇත්තේ අදාළ පුද්ගලයාට තිබෙන ජීවිත තර්ජන මැද ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ බවට මේ වන විට අනාවරණය වී තිබේ.
අද පස්වරු 1ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර එම වෙඩි ප්‍රහාරයෙන් 55 හැවිරිදි සිරිල් හෙන්දවිතාරණ නොහොත් “ඩිලයිට්” නමින් හැඳින්වෙන මාළු ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්විය.
පොලීසිය පැවසුවේ මෙම වෙඩි තැබීම මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවය.
ඔහුට අයත් හෝටලයකට 2023 වසරේදීද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී ඔහුට කිසිදු හානියක් සිදුව නොමැත.
එවැනි වාතාවරණයක් මත ඔහු විසින් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජාතික අධිකාරියට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් සංචාරක අත්පොතක්ද තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය විසින් අදාළ පුද්ගලයාට ආරක්ෂිතව සිටින ලෙස දැනුම් දුන්නද ඔහු ඒ පිළිබඳව වැඩි තැකීමක් නොකර ප්‍රදේශයේ විවිධ ස්ථාන වෙත ගමන් කර තිබේ.
අද දිනයේද ඔහු ගන්දර සිට දෙවුන්දර දක්වා ගමන් කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම සම්බන්ධව චෝදනා පවතින බවද පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සහෝදරයාද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව පොලීසියට අවශව සිටින අයෙකු බවය.
මෙම පුද්ගලයාව ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ මෝටර් රථයකින් වන අතර ඔවුන් මොහු ඝාතනය කර පළා ගොස් තිබුණි.
ඒ අනුව පොලිස් කණ්ඩායම් 6ක් අනියුක්ත කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක්ද ආරම්භ කරනු ලැබීය.
එවැනි වාතාවරණයක් තුළ ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි බව පැවසෙන මෝටර් රථයය මාතර අමලගොඩ ප්‍රදේශයේදී දමා ගොස් තිබියදී පොලීසිය අද පස්වරුවේ සොයාගනු ලැබීය.
අද ඝාතනයට ලක්වූ සිරිල් හෙන්දවිතාරණ හෙවත් "ඩිලයිට්" නැමැත්තා විසින් මින් වසර 20කට පමණ පෙර ඇල්ලකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි කැලෑබද ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ දෙවුන්දර තමිල් නැමැත්තාගේ සමීපතමයෙකු වන ජුංගයියා ලාල් නම් අයෙකු ඝාතනය කර තිබුණි.
එම ඝාතනයත් සමග දෙවුන්දර තමිල් නැමැත්තා විසින් ඩිලයිට් නැමැත්තාගේ පාර්ශ්වයේ පිරිසක් ඉලක්ක කරමින් ඔවුන් ගමන් ගත් වෑන් රථයකට වෙඩි තබා ඇති අතර ඉන් පුද්ගලයින් 05 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්විය.
කෙසේ නමුත් එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් 5 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට අදාළ චෝදනා සම්බන්ධව මරණීය දණ්ඩනයද හිමිව තිබූණද ඔවුන් සිදුකල අභියාචනයයේදී ඔවුන් නිදහස් වී තිබුණි.
මෙවැනි වාතාවරණයක් තුළ ඩිලයිට් නැමැත්තා දෙහිගෙදර බාලේ නම් සංවිධානාත්මක අපරාධකරු සමගද සමීප සබඳතාවයක් පවත්වාගෙන ඇතැයිද විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
නමුත් පසුකාලීනව දෙහිගෙදර බාලේ මල්ලි විසින් සිදුකරන හෙරොයින් ජාවාරමෙන් ප්‍රමාණයක් ඩිලයිට් නැමැත්තා විසින් සොරකම් කර ඇති බවටද චෝදනා එල්ල වී ඇති බවත් අනාවරණය වී ඇත.
එමෙන්ම මෙම පුද්ගලයා විසින් දෙහිගෙදර බාලේ මල්ලිගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන උනාකූරුවේ ශාන්ත නම් පුද්ගලයා සමගද සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ අනුව දෙපාර්ශ්වයේ තොරතුරු දෙපාර්ශ්වයටම ලබා දීම මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලීසිය මේ වන විට සැක පළ කර තිබේ.
මේ අතර ගන්දර ප්‍රදේශයේදී මෙම ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට අමතරව තවත් පුද්ගලයින් 16 දෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
ඒ ඔවුන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් ලද පැමිණිලි අනුවය.
ඒ අනුව අදාළ පුද්ගලයින් වෙත පොලීසිය විසින් සිය ආරක්ෂාව ලබා දී ඇති බවද වාර්තා වේ.

