brand logo
logo
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

08 May 2026


ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.


කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි.


අදාළ නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමු වූ බව පොලිසිය පැවසීය.


අදාළ ස්ථානයට අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද පැමිණ තිබණි.


සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවය.


මේ අතර ස්ථානීය පරීක්ෂණය සිදුකිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ද පැමිණියේය.


සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස්මත ක්‍රියාත්මකයි.


2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වූණි.


අනතුරුව ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරුණි.


කෙසේ වෙතත් එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඊට අදාළව පසුගිය මාර්තු 12 වනදා කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගැනුණි.


අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසමේ නිලධාරින් කියා සිටියේ ප්‍රශ්නගත ගනුදෙනුවේදී තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට මහතාටද, රුපියල් මිලියන 60ක මුදලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබාදුන් බව කපිල චන්ද්‍රසේන සිය කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙමින් පැවසූ බවයි.


කෙසේ වෙතත් ඊට විරෝධය දක්වමින් කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා චෝදනා කළේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන ඇති බවය.


අදාළ විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට එළඹෙන 12 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසද එම කොමිසම දැනුම් දී තිබුණි.


මෙවැනි පසුබිමක රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී කපිල චන්ද්‍රසේන මහතා දින 54කට පසු ඇප මත මූදා හැරීමට පසුගිය 05 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමින්ය.


කෙසේ වෙතත් කපිල චන්ද්‍රසේන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමේදී ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුද්ගලයින් 02 නෙකු ඉදිරිපත් කර තිබූ අතර පසුව අත්අඩංගුවට ගැණුනු එම පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.


එහිදී ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා යළි අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේ වරෙන්තුවක්ද නිකුත් කළේය.

 

More News..