brand logo
logo
UAE ,ඉරානය සමග වෙළෙඳ කටයුතු අත්හිටුවයි

UAE ,ඉරානය සමග වෙළෙඳ කටයුතු අත්හිටුවයි

19 August 2026

ඉරානයෙන් නැවතත් ප්‍රහාරයක් එල්ල වූ බවට චෝදනා කරමින්, ඉරානය සමග පවතින සියලුම වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබේ.


අමෙරිකානු සම්බාධක සහ විවිධ අවහිර කිරීම් හමුවේ දැනටමත් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම තීරණයත් සමග ජාත්‍යන්තරය තුළ තවදුරටත් හුදකලා වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉරානය දෙසින් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවමින්, ඊයේ (18) රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට රට පුරා හදිසි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබුණි.

පසුගිය සති කිහිපයක කාලය තුළ මෙවැනි හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණු පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.


පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ යුදමය ගැටුම්වල මුල් අදියරේදී ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරානයෙන් දැඩි ප්‍රහාර එල්ල වූ අතර, ඒ හේතුවෙන් දෙරට අතර වෙළඳ සබඳතා අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. 


කෙසේ වෙතත්, ජූනි මස අගභාගයේදී යුදමය වාතාවරණය යම් තාක් දුරකට ලිහිල් වීමත් සමග ඇතැම් සමුද්‍රීය වෙළඳ කටයුතු නැවත ආරම්භ කිරීමට දෙරට කටයුතු කර තිබුණි.


කෙසේ නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් එල්ල කරන ලද මෙම මිසයිල ප්‍රහාර චෝදනාව ඉරාන බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

 

More News..