brand logo
logo
මහ මැතිවරණවලදී ඡන්දය නොදෙන පිරිස ලක්ෂ 36කට වැඩියි

මහ මැතිවරණවලදී ඡන්දය නොදෙන පිරිස ලක්ෂ 36කට වැඩියි

07 November 2026 | සාලිය කුමාර ගුණසේකර

මැතිවරණයකදී ඡන්ද පොළට නොයන පිරිස ලක්ෂ 36 කට අධික බව සාධාරණ සමාජයක් සඳහාවන ජාතික ව්‍යාපාරය විසින් ප්‍රකාශයට පත්නරන ලද ‘පූර්ව ඡන්ද භාවිතයේදී ශ්‍රී ලංකා ආකෘතිය හඳුනාගැනීම සඳහා වන පර්‌ෙය්ෂණ ග්‍රන්ථයේ’ සඳහන්කර ඇත.


 එම පර්‌ෙය්ෂණ ග්‍රන්ථයේ දැක්වෙන පරිදි මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළට නොයන පිරිස 3,677,728 කි.


1989 වසරින් පසුව පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණවලදී ඡන්ද පොළට නොයන ඡන්ද හිමියන්ගේ ප්‍රතිශතය තවදුරටත් ඉහළ ගොස් ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.


පර්‌ෙය්ෂණ ග්‍රන්ථයේ සංස්කාරක මංජුල ගජනායක කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පසු 2024 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකළ පිරිස 5,325,108 ක් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකළ ඡන්දදායකයන් සංඛ්‍යාව අතර වෙනස 309,000 ක් බවය.


මෙරට ජනාධිපතිවරයා පත්කිරීමට ඡන්දය ප්‍රකාශ කරන ලද ඡන්දදායකයන් සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නොමැති බවද ඔහු කීවේය.

1947 වසරේදී පවත්වන ලද පළමු මැතිවරණයේදී ඡන්ද පොළට නොපැමිණි ඡන්දදායකයන් සංඛ්‍යාව 1,337,995 ක් බවත්, 2024 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද පොළට නොපැමිණි පිරිස 5,325,108 ක් බවද ඔහු කීවේය.


සමානුපාතික නියෝජන ක්‍රමය මෙරටට හඳුන්වා දුන් 1989 වසරේ සිට මෙරට ඕනෑම පාර්ලිමේන්තු මැතිවරණයකදී ඡන්ද පොළට නොපැමිණි ප්‍රතිශතය සියයට 27.64 ක් (27.64%) බවද ඔහු පැවසීය.

මෙරට ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයක් බවත්, මෙරට ඕනෑම පාර්ලිමේන්තු මැතිවරණයකදී ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණයේ සාමාන්‍ය 297,696 ක් බවද ඔහු කීවේය.

එම පර්‌ෙය්ෂණ ග්‍රන්ථයේ දත්තවලට අනුව 1989 වසරේ සිිට 2024 වසර දක්වා පැවති පාර්ලිමේන්තු මැතිවරණවලදී වැඩිම ඡන්දදායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශය කර නැත්තේ 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදීය. එම වසරේදී ඡන්දදායකයන් 5,457,811 ක් ඡන්දය ප්‍රකාශ කර නැත. ඊට පසුව ඡන්දදායකයන් වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නැත්තේ 2024 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදීය.


කෙසේ නමුත්, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ හතර සලකා බැලීමේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බවත්, එම ප්‍රතිශතයේ සාමාන්‍ය අගය සියයට 9.73 ක් බවද පර්‌ෙය්ෂණ ග්‍රන්ථයේ දැක්වේ.


 

More News..