brand logo
logo
දඹදිව වන්දනාවට යළි නොමිලේ වීසා

දඹදිව වන්දනාවට යළි නොමිලේ වීසා

27 July 2026 | ලක්ඛිත විද්‍යාසේකර - කළුතර


දඹදිව වන්දනාකරුවන් වෙනුවෙන් යළි නොමිලයේ වීසා බලපත්‍ර ලබා දීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ. 


දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ට ලබා දී තිබූ මෙම නිදහස් වීසා බලපත් සහනය පසුගිය මාස 3-4ක කාලයක සිට අහෝසි කර තිබිණි. එහෙත් එමගින් දඹදිව වන්දනාකරුවන් මෙන්ම ඔවුන්ට පහසුකම් සලසන විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන් දැඩි අර්බුදයකට ලක්ව සිටින බව මාධ්‍ය මඟින් අනාවරණය වීමත් සමග ඉකුත් 24 වැනිදා සිට යළි එම සහනය ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තීරණය කර ඇත.


විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ මහ ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මේ පිළිබඳව දැක්වූ අදහස් ඇසුරෙන් "වන්දනාකරුවන්ට සහන වීසා නතර කිරීමෙන් දඹදිව සංචාර අර්බුදයක" යන හිසින් යුතුව ඉකුත් 16 වැනිදා " අරුණ" පුවත්පතේ ප්‍රධාන පුවත පිළිබඳව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ද අවධානය යොමු කොට තිබුණි.


ඒ අනුව ආගමික ස්ථාන වන්දනා කිරීම සඳහා ඉන්දියාවට යෑමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට ඒ සඳහා වීසා බලපත් අන්තර්ජාලය ඔස්සේ දින වෙන් කරවාගෙන කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට හා මඩකලපුව ආදී ප්‍රදේශවල පිහිටි ඉන්දියානු කොන්සියුලර් මධ්‍යස්‍ථාන වෙත අයැදුම්පත් භාර දිය හැකි බව මේ සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.


බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය සහිත පුද්ගලයන් 10 දෙනකුට වැඩි කණ්ඩායම් සඳහා ගාස්තු රහිතව වීසා නිකුත් කරන බවත්‍් ඒ සඳහා වේගවත් ක්‍රියාවලියක් ස්ථාපිත කොට ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

More News..