brand logo
logo
 මොරටුව අවන්හල් හිමිකරු ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට

මොරටුව අවන්හල් හිමිකරු ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට

21 October 2026


මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලක හිමිකරුවෙකු ඊයේ (20) රාත්‍රියේ නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.


පොලීසිය පැවසුවේ ඔහුට කලක පටන් අපරාධ කල්ලියකින් මරණ තර්ජන එල්ලවී තිබූ බවයි .


මොරටුව, සොයියාපුර ප්‍රදේශයේ පිහිටි අවන්හලක ඊයේ රාත්‍රී 8.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණි.


ඒ, එම අවන්හලේ හිමිකරු ඉලක්ක කරගනිමිනි.


නාඳුනන වෙඩික්කරුවකු අවන්හල් හිමිකරු ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරයක් කිහිපයක් එල්ල කර තිබේ.


අනතුරුව වෙඩික්කරු ඔහු පැමිණි මෝටර් රථයෙන්ම පලාගොස් තිබේ.


එලෙස පලායන අතරවාරයේ පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේදී මෝටර් රථයේ කාර්මික දෝෂයක් හටගෙන තිබේ.


එහිදී රථයෙන් බැස වෙඩික්කරු අහසට වෙඩි තබා යතුරුපැදිකරුවෙකු බිය ගන්වා යතුරුපැදිය පැහැරගෙන හා මෝටර් රථයේ රියැදුරා සමඟ පලාගොස් තිබේ.


මේ අතර, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු අවන්හල තුළදීම මියගොස් තිබුණි.


ඔහු 49 හැවිරිදි ලසන්ත කුමාර නමැති අයෙකි.


අවන්හලෙන් ආහාර ලබාගැනීමට පැමිණි කාන්තාවක්ද වෙඩි ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලබා තිබුණි.


මේ අතර, මෙම අවන්හල 2020 වසරේ මැයි 19 වැනිදාද නාඳුනන පුද්ගලයන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.


ඉන් දින 9කට පසුව එනම් 2020 වසරේ මැයි 29 වැනිදා ද නාඳුනන තුවක්කුකරුවකු විසින් අදාළ අවන්හලට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි.


අදාළ පහරදීම් හා වෙඩිතැබීම් පිළිබඳව චෝදනා එල්ල වී ඇත්තේ, මේ වනවිට ඩුබයිහි ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන ඇල්ටෝ ධර්මේ හා ප්‍රංශයේ සැඟව සිටි කුඩු අංජුගේ පාර්ශ්වයටයි.


කෙසේවෙතත් අවන්හල් හිමිකරු ඝාතනය කිනම් පාර්ශ්වයක් සිදුකළේද යන්න මෙතෙක් අනාවරණවී නොමැත.


මේ අතර වෙඩික්කරු සහ රියැදුරා පලායෑම සඳහා යොදාගත් යතුරුපැදිය කෝට්ටාව සිද්ධමුල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය ඊයේ රාත්‍රියේ සොයාගනු ලැබීය.


සිද්ධිය පිළිබඳව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි


 

More News..