Best News Website award
brand logo
logo
දින 30ක් වීසා නැතිව තායිලන්තයේ රැඳී සිටීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව

දින 30ක් වීසා නැතිව තායිලන්තයේ රැඳී සිටීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව

19 November 2026


ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා බලපත්‍රවලින් නිදහස්වීමේ ද්විපාර්ශ්වික ගිවිසුම් කෙටුම්පතකට තායිලන්ත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.


එරට නියෝජ්‍ය රජයේ ප්‍රකාශිකා ප්ලොයිතලේ ලක්ෂමී සෙන්ග්ජාන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගිවිසුමට අත්සන් තැබීම සඳහා විදේශ කටයුතු ඇමැතිවරයාට හෝ නම් කරන ලද නියෝජිතයකුට කැබිනට් මණ්ඩලය විසින් බලය පවරා ඇති බවය.


මෙම ගිවිසුම යටතේ දෙරටේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට එක් වරක් සංචාරය කිරීමේදී දින 30කට නොඅඩු කාලයක් අනෙක් රටෙහි රැඳී සිටීමට, ඇතුළු වීමට, පිටවීමට හෝ සංක්‍රමණය වීමට වීසා අවශ්‍යතාවලින් නිදහස් කෙරේ.


කෙසේ වෙතත්, ඕනෑම දින 180ක කාලසීමාවක් තුළ රැඳී සිටිය හැකි මුළු දින සංඛ්‍යාව දින 90කට සීමාවන අතර, දින 30 ඉක්මවන දීර්ඝ කාලයක් රැඳී සිටීමට, රැකියාවල නිරත වීමට හෝ අධ්‍යාපන කටයුතු සඳහා පැමිණීමට අපේක්ෂා කරන පුරවැසියන් අදාළ නිසි වීසා බලපත්‍රය පූර්වයෙන් ලබාගත යුතු වේ.


මෙම ගිවිසුම බලාත්මකවීම සඳහා දෙපාර්ශ්වයම අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියාපටිපාටින් සම්පූර්ණ කර ඇති බවට රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා යවනු ලබන අවසන් ලිඛිත දැනුම්දීම ලැබී දින 60කට පසු එය ක්‍රියාත්මක වනු ඇත.


මහජන සාමය, සෞඛ්‍යය හෝ ජාතික ආරක්ෂාව වැනි විශේෂිත හේතු මත ඕනෑම පාර්ශ්වයකට මෙම ගිවිසුම තාවකාලිකව අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට ප්‍රතිපාදන සලසා ඇති අතර, දෙරට අතර සංචාරක කටයුතු විධිමත් කරමින් බෞද්ධ හා සංස්කෘතික සබඳතා වඩාත් පුළුල් කිරීමට මෙමගින් සුවිශේෂී පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

More News..