ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම ප්‍රායෝගික නැද්ද ?
21 September 2026
ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම ප්‍රායෝගික නැද්ද ?
21 September 2026
අල්ලස් හෝ දූෂණචෝදනා විමර්ශනය කිරීමේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ ප්‍රකාශයකින් අද මෙම තීරුව ආරම්භ කිරීමට අපි කැමැත්තෙමු. ඒ ප්‍රකාශය කෙරුණේ පසුගියදා පැෆරල් සංවිධානය විසින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන නිරීක්ෂණය කරමින් පැවති තෙවැනි අර්ධ වාර්ෂික සම්මන්ත්‍රණයේදීය. ප්‍රේක්ෂකාගාරයේ සිටි රංග දිසානායක මෙහිදී මතු කළේ ඇතැම් මැතිවරණ ප්‍රකාශනවල අන්තර්ගත සමහර කාරණා ප්‍රායෝගිකද යන්නයි.
ඔහු මෙහිදී අදහස් කළේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කාරණා ගැනය. අල්ලස් කොමිසමේ ප්‍රධානියා මෙහිදී මාතෘකා කිහිපයක් සැලකිල්ලට ගත්තද අපේ අවධානය මෙහිදී යොමුවන්නේ එක් කාරණාවක් ගැන පමණය. එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජාජබ මැතිවරණ ප්‍රකාශනයෙන් දී ඇති පොරොන්දුව ප්‍රායෝගිකද යන්නය.
මෙහිදී ඔහුට ගැටලුවක් වී ඇති බව පෙනී ගියේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසු ඒ තනතුරේ ඇති අසීමිත බලතල ඒකරාශි වන්නේ කොතැනකටද යන්නය. එහෙත් සමාජ ක්‍රියාකාරිනියක වන නිමල්කා ප්‍රනාන්දු අල්ලස් කොමිසමේ ප්‍රධානියා මෙබඳු ගැටලුවක් ඇතිකර ගැනීම පිළිබඳ ෆේස් බුක් පෝස්ට්ටෙකකින් සිය විමතිය පළකර තිබුණාය. ඇය මෙන්ම අපද සිතන්නේ ඒ නම් ගැටලුවක් ඇති කරගත යුතු කාරණාවක් නොවන බවය.
ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කරන ලද්දේ 1978 පෙබරවාරි මාසයේ පටන්ය. 1972 මැයි මාසයේ පටන් ක්‍රියාත්මක වූ ජනරජ ව්‍යවස්ථාවෙන්ද එතෙක් රටේ ප්‍රධානත්වය දැරූ බ්‍රිතාන්‍ය මහ රැජනගේ නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාරවරයාගේ තනතුර අහෝසි කර ජනාධිපති තනතුරක් ඇති කරන ලද බව සැබෑය. එහෙත් ඒ ජනාධිපති තනතුරද බ්‍රිතාන්‍ය කිරීටය මෙන් බලතල රහිත නාමමාත්‍ර විධායක තනතුරක් විය.
විධායක බලතල සහිත ජනාධිපති ධුරය ඇති කිරීමට පෙර රටේ විධායක බලය ඒකරාශී වී තිබුණේ අග්‍රාමාත්‍යවරයා හා ඔහුගේ කැබිනට් මණ්ඩලය වටාය. එවකට විධායක අග්‍රාමාත්‍යවරයා හැටියට ඔහු හඳුන්වනු නොලැබුවද, ඒ තනතුර විධායක ජනාධිපති ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන අග්‍රාමාත්‍ය තනතුර මෙන් නාමමාත්‍ර තනතුරක් නොවීය. අද විධායක ජනාධිපතිවරයා වටා ඒකරාශී වී ඇති බලතල විශාල ප්‍රමාණයක් භුක්ති වින්දේ එවක අග්‍රාමාත්‍යවරයාය.
එහෙත් එවක අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම පාර්ලිමේන්තුවට ඉඳුරා වගකිවයුතු තැනැත්තකුද විය. 1947 දී අප රට ගුරු කරගත් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවද විධායක බලය ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට හා කැබිනට් මණ්ඩලයටය. එහි රජෙක් සිටියද රජුගේ බලය නාමමාත්‍රිකය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් අපේ රට ආපසු ගමන් කිරීමට උත්සාහ කරන්නේ 1978 දක්වා ක්‍රියාත්මක වූ ආණ්ඩු ක්‍රමයටය. එහිදී වර්තමාන ජනාධිපතිවරයා භුක්ති විඳින බලය විධායක අග්‍රාමාත්‍යවරයාට ලැබෙන්නේ නැත. තනි පුද්ගලයකු වටා බලය ඒකරාශී වීම නුසුදුසු යැයි තර්ක කරන්නෝ ඊට වඩා අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලයට බලය ලැබීම සුදුසු යැයි හඟිති.
ඒ මේ කාරණාවලින් පෙනී යන්නේ අල්ලස් කොමිසමේ ප්‍රධානියා ප්‍රශ්න කළ ආකාරයෙන් ජනාධිපති තනතුරේ බලතල ඒකරාශී වන්නේ කොතැනටදැයි ගැටලුවක් ඇතිකර නොගත යුතු බවය. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රායෝගික නොවන යෝජනාවක් යැයි අප නම් සිතන්නේ නැත. එහෙත් මෙහිදී මතුවන වෙනත් ප්‍රායෝගික ගැටලුවක් නම් තිබේ.
ඒ අනෙකක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යැයි සපථ කර බලයට පත්වන කිසිදු ආණ්ඩුවක් හෝ නායකයෙක් හෝ බලයට පත්වීමෙන් පසු ඒ අහෝසි කිරීමට මැළිකමක් දැක්වීමය. එද පුදුමයට පත්විය යුතු කාරණයක් නොවේ.
ජේ.ආර්. ජයවර්ධන විසින් 1978 දී සම්මත කරගන්නා ලද්දේ විශාල බලයක් සහිත ජනාධිපති ක්‍රමයක් බැවිනි. "මට කළ නොහැක්කේ පිරිමියෙක් ගැහැනියක කිරීමත් ගැහැනියක පිරිමියෙක් කිරීමත්’’ පමණක් යැයි ඒ සම්මත වූ අලුත ඔහු කියා සිටියේ එහෙයිනි. ඒ සා විශාල බලයක් ඇති තනතුරක් අතහැරීමට කිසිදු ආණ්ඩුවක් හෝ කිසිදු නායකයෙක් හෝ කැමති නොවීම ස්වභාවිකය.
විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන අතරේ එහි බලතල අඩුකිරීමට කෙරුණු අවංක උත්සාහයන්ද එහි ඉතිහාසය තුළ දක්නට ලැබේ. පළමුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු කාලයේදීද, දෙවනුව මෛත්‍රිපාල සිරිසේන සමයේදීය. ජනාධිපතිවරයා සතු ඇතැම් බලතල කොමිෂන් සභා කිහිපයකට පැවරීම එබඳු ප්‍රයත්නයකට උදාහරණයකි.
දැන් ජාජබ කොටස්කරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ මුල පටන්ම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධත්වය දැක්වූ දේශපාලන පක්ෂයකි. එහෙයින් ඔවුන් බලයට පත්වීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ඇතැයි ඔවුන්ගේ මිතුරෝ මෙන්ම සතුරෝද විශ්වාස කළෝය. එහෙත් දැන් මේ ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තබා කොමිෂන් සභා ක්‍රියාත්මක වන ආකාරය ගැනද සතුටක් නොදක්වන බව පෙනී ගිය අවස්ථා තිබේ.

