ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට දින වෙන්කර නොගෙන එන අයට රතු එළි
06 October 2026 | එෆ්. අස්ලම්
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට දින වෙන්කර නොගෙන එන අයට රතු එළි
06 October 2026 | එෆ්. අස්ලම්
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් සඳහා දින වෙන් කරගෙන නොපැමිණෙන පුද්ගලයන්ට ඉදිරි දින ලබාදීම කල් දමන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කරයි.
විනයක් නොමැතිව කටයුතු කරමින් දින, වේලා වෙන්කර නොගෙන තවත් අයකුට ඇති අවස්ථාවක් අහිමි කිරීම හේතුවෙන් මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව එම ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා පැවසීය.
මේ වනවිට මාර්ගගතව සහ ඕනෑම දුරකතන අංකයකින් කිසිදු අයකිරීමකින් තොරව රියැදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ලබාගැනීමට අවශ්‍ය දින වෙන් කිරීම් සිදුකෙරෙන බවද සභාපතිවරයා කීවේය.
ඒ අනුව ඊට අදාළව දින සහ වේලාවන් වෙන්කිරීම් වැඩියෙන්ම සිදුවූ දිනය ඊයේ (05 වැනිදා) බවත් නුගේගොඩ, වේරහැර, ගම්පහ, කුරුණෑගල යන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන ප්‍රධාන ශාඛා මගින් 2046 දෙනකු දින හා වේලාවන් වෙන්කරගෙන ඇතත් ඉන් 450 දෙනකු පැමිණ නැති බවද ඔහු පැවසුවේය.
නුගේගොඩ ශාඛාවෙන් වේලා වෙන්කිරීම් 862ක් සිදුකර ඇති අතර 184 දෙනකු පැමිණ නැත. තවද වේරහැර ශාඛාවේ වේලා වෙන්කර ගැනීම් 370කින් 80ක්ද, කුරුණෑගල ශාඛාවේ වෙන්කරගැනීම් 451න් 66ක් ද, ගම්පහ ශාඛාවේ වෙන්කිරීම් 363න් 120 දෙනකු ද නියමිත පරිදි පැමිණ නැති බවද සභාපතිවරයා සඳහන් කළේය.
එමනිසා දින හා වේලාවන් වෙන්කරගැනීමේදී තමන්ට පහසු දිනයක් හෝ වේලාවක් කල් ඇතිවම තීරණය කරගනිමින් අදාළ කාර්යය සිදුකරන්නා ලෙසද ඔහු කියා සිටියේය.

