brand logo
logo
යල කන්නයේ අස්වැන්න මෙ.ටො.ලක්ෂ විස්සයි

යල කන්නයේ අස්වැන්න මෙ.ටො.ලක්ෂ විස්සයි

12 July 2026 | සාලිය කුමාර ගුණසේකර


මෙවර යල කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 20ක අස්වැන්නක් අපේක්ෂා කළද වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට හැකිවන්නේ මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණයක් බව එම මණ්ඩලය සඳහන් කරයි.


යල කන්නයේ සමස්ත වී අස්වැන්නෙන් මණ්ඩලයට මිලදී ගැනීමට හැකිවන්නේ සියයට 2ක ප්‍රමාණයක් බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවසීය.


​මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අදාළව අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම හෙට (13 වැනිදා) සිට ආරම්භ කරන බවද ඔහු කීවේය. අම්පාර, උහන ප්‍රදේශයෙන් මෙලෙස වී මිලදී ගැනීම ආරම්භ කරන බවද ඔහු පැවසීය.


පසුගිය කන්නවලදී මිලදීගත් වී තොගවලින් මණ්ඩලයේ ඇතැම් ගබඩා සම්පූර්ණයෙන්ම පිරී තිබෙන බවත්, ඇතැම් ගබඩා අර්ධ වශයෙන් පිරී තිබෙන බවත් ඔහු කීවේය. මේ නිසා වී අලෙවි මණ්ඩලයට විකල්ප ගබඩා සොයා ගැනීමට සිදුවී ඇතැයිද ඔහු පැවසුවේය. මේ සඳහා සමුපකාර, මහවැලි සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ගබඩා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා කියා සිටියේය.


ගබඩාවල ඉඩ නොමැති නම් ලොරි යොදවා ජංගම වී මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියේය. අනතුරුව එම වී තොග ස්ථිර වී ගබඩාවලට රැගෙන යන බවද ඔහු පැවසීය.


දිස්ත්‍රික්ක 17ක ස්ථාන 141කදී වී මිලදී ගැනීමට නියමිත බවත්, මණ්ඩලය මෙලෙස මිලදී ගන්නේ රජයේ ස්වාරක්ෂිත තොගය බවත් ඔහු පැවසීය.


මණ්ඩලය විසින් මෙවර මිලදීගනු ලබන්නේ මෙවර යල කන්නයේ වී පමණක් බවත්, එම වීවල තෙතමනය සියයට 14ක ප්‍රතිශතයකද, බොල් වී ප්‍රතිශතය සියයට 9කට වඩා අඩුවිය යුතු බවත් සභාපතිවරයා කීවේය.


මණ්ඩලය විසින් පසුගිය කන්නවලදී මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 60,000ක තොගයක් ටෙන්ඩර් කර අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවත්, එම වී තොගය මෙට්‍රික් ටොන් 15,000 බැගින් ටෙන්ඩර් කිරීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් ඔහු කීවේය. එම වී තොග අලෙවි කරනු ලබන්නේ මණ්ඩලයේ ලියාපදිංචි වී මෝල් හිමියන්ට පමණක් බවද සභාපතිවරයා පැවසීය.


වී අලෙවි මණ්ඩලය ඉකුත් වසරේ (2025) යල සහ මහ කන්න දෙකේදී රුපියල් බිලියන 16ක වී මිලදීගෙන ඇති අතර එලෙස මිලදීගත් වී මෙට්‍රික් ටොන් 120,000ක් මණ්ඩලයේ ගබඩාවල ගබඩා කර තිබේ. ඉන් මෙට්‍රික් ටොන් 60,000ක් ටෙන්ඩර් කර අලෙවි කෙරෙන අතර, තවත් මෙට්‍රික් ටොන් 20,000ක වී තොගයක් සතොස ආයතනයට ලබාදීමට නියමිතය.


කෙසේ නමුත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය කන්න තුනකදී මිලදී ගත් වී තොග මණ්ඩලයේ ගබඩාවල සිරවී තිබියදී ලංකා සතොස ආයතනය විසින් පුද්ගලික අංශයෙන් වී මිලදී ගැනීම සිදුකරන බවය.


මණ්ඩලය සතුව තිබෙන මෙට්‍රික් ටොන් 120,000 ක තොගය යල කන්නයේ අස්වැන්න ලැබීමට පෙර මාස කීපයකට පෙර වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකියාව තිබියදී, යල කන්නයේ අස්වැන්න ලැබෙන මේ අවස්ථාවේ එම කටයුත්ත සිදුකිරීම නිසා වෙළෙඳ පොළේ සහල් මිල තවත් පහත වැටීමේ හැකියාව පවතින බව සහල් මෝල් හිමියෝ කියා සිටිති.


මේ වනවිට වෙළෙඳපොළ තුළ ආනයනය කරන ලද සහල් තොග විශාල වශයෙන් තිබීම නිසා යල කන්නයේ වී මිල විශාල ලෙස පහත වැටී ඇතැයි ගොවීහු චෝදනා කරති.


මෙවර යල කන්නයේ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 කද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130ක්ද තිබේ. කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 140 ක සහතික මිලක් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.


කෙසේ නමුත්, ගොවීන් කියා සිටින්නේ වී කිලෝවක් මිලදී ගැනීමට රජය නියම කර තිබෙන රුපියල් 120 ක මුදල ප්‍රමාණවත් නොවන බවය. කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල් කාන්ත පාර්ලිමේන්තුවේදී පසුගියදා කියා සිටියේ අනුව මෙවර වී කිලෝවක නිෂ්පාදන වියදම 137 ක් පමණ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය විසින් ගණන් සාදා තිබෙන බවය. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි මහාචාර්ය ඒ.එල්. සන්දික රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වී කිලෝවකට රුපියල් 120 ක මිල පාඩුවක් නොවන බවය.


නමුත්, ගොවීන් කියා සිටින්නේ වී අලෙවි මණ්ඩලය විසින් කල් ඇතිව වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම නිසා නාඩු වී කිලෝවක මිල රුපියල් 89 ත් 100 ත් අතර මිලක් දක්වා පහත වැටී තිබෙන බවය.


මෙවර යල කන්නයේ හෙක්ටයාර් 475,000 ක වී වගා කර ඇති අතර, වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදි ගැනීමට අදාළව රජය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන හයකි. මීට අමතරව ඔඩපණ ණය ලෙස රුපියල් මිලියන 10,000 ක මුදලක් බැංකු විසින් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදීම සිදුකෙරේ.

 

More News..