brand logo
logo
තෙල් නැතිව තරග නවතී

තෙල් නැතිව තරග නවතී

20 March 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ


මේ වන රටේ පවතින ඉන්ධන සීමා කිරීම් ආදිය හේතුකරගනිමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රීඩා ඉසව් ගණනාවක් කල්දැමීමට සංවිධායකයන් තීරණය කර තිබේ.


ඒ අතර ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ලබන 28 වැනිදා නුවරඑළියේදී පැවැත්වීමට යෙදී තිබූ ජාතික රට හරහා දිවීමේ තරගාවලිය මෙන්ම ඉන්ධන යොදාගනිමින් තරගවදින ක්‍රීඩා ඉසව්ද වේ.


මේ අනුව ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය මෙන්ම ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයද නුදුරේදී පැවත්වීමට නියමිත සිය තරගාවලි දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇත.


ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ පරිපාලන කමිටුව වෙනුවෙන් එහි ලේකම් ලුතිනන් කර්නල් චින්තන විජේකෝන්ගේ අත්සනින් යුතුව ඉකුත් දා එහි සාමාජික ක්‍රීඩා සමාජ සහ තරගකරුවන් හට නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ලබන අප්‍රේල් 30 වැනිදා දක්වා පැවැත්වීමට යෙදී තිබූ තම සම්මේලනයේ සියලු තරග ඉසව් තාවකාලිකව කල් දැමීමට අදාළ පරිපාලන කමිටුවේ හදිසි රැස්වීමක් මගින් තීරණය කර තිබේ.QR ඛේතයක් මගින් ඉන්ධන සීමාසහිතව ලබාගැනීමටත් සිදුව තිබීමත්, රටේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගැනීම උදෙසා තෙල් සංචිත පරෙස්සම් කරගැනීම සඳහා සහයවීමක් ලෙසින්ද සලකා මෙම තීරණය ගනු ලැබූ අතර සෑම දෙසතියකටම වරක් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමටද තීරණය වූ බැව් එකී ලිපියේ දක්වා තිබේ.


මේ අතර උද්ගත තත්ත්වය සලකා තමන්ද ලබන 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ තරග ඉසව් කල්දමන බව ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය, එහි ලේකම් මාලින්ද කරන්නාගොඩගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඉකුත්දා සිය සමාජික සංගම් වෙත දැනුම් දී ඇත.


මෙකී තීරණ අනුව කල්දැමෙන මෝටර් ධාවන ඉසව් අතර අප්‍රෙල් 17 සහ 18 වැනිදාට යෙදී තිබූ ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියද වේ.


ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙහෙයවනු ලබන ජාතික රට හරහා දිවීමේ ශූරතාව කල් දමනු ලැබුවද ජාතික මහා ක්‍රීඩා උළෙලේ මූලික අදියර යටතේ වන අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලි සහ දිස්ත්‍රික් තරගාවලි යොදාගත් ආකාරයෙන්ම පැවැත්වීමට යෙදී තිබේ.

 

More News..