brand logo
logo
 චීනෙන් ආ ලොකුම ලොකු ලූනු

චීනෙන් ආ ලොකුම ලොකු ලූනු

03 April 2024 | සාලිය කුමාර ගුණසේකර


ඉන්දියාව ලූනු අපනයන තහනම තවදුරටත් දීර්ඝ කිරීම හේතුවෙන් මෙරටට චීනයෙන් මහා පරිමාණයෙන් ලොකු ලූනු ආනයනය කර ඇති අතර, චීන ලොකු ලූනු ගෙඩියක බර කිලෝ බාගයකට වැඩි බව වෙළෙන්දෝ කියා සිටිති.


ඉන්දියානු ලොකු ලූනු මෙරටට නොලැබීම නිසා පාකිස්තානය සහ තුර්කියෙන් ලොකු ලූනු ආනයනය කෙරුණු අතර, මේ වනවිට චීනයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු තොග පිටකොටුව තොග වෙළෙදසල්වල ගොඩගසා ඇති අයුරු දැකගත හැකිය.


චීනයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු ගෙඩියක් ග්‍රෑම් 500 ක් පමණ වන බවත්, එහි දියර ස්වභාවය වැඩි බවත් වෙළෙන්දෝ පවසති. එමෙන්ම, එහි සැර ගතියක් නොමැති බවත්, ආහාර ආදිය සැරසිලි කිරීම සඳහා චීන ලූනුවලට ඉල්ලුමක් පවතින බවත් පිටකොටුව තොග වෙළෙන්දෝ කියා සිටිති.


පිටකොටුව සිල්ලර වෙළෙඳ පොළේ චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකටද, පාකිස්තාන ලොකු ලූනු කිලෝවක් රුපියල් 500 කටද, තුර්කි ලොකු ලූනු කිලෝවක් රුපියල් 420 කටද අලෙවි කෙරේ.


කෙසේ නමුත්, තුර්කි ලොකු ලූනු ප්‍රමාණයෙන් රතු ලූනු ගෙඩියකට වඩා මදක් විශාල වන අතර, එහි සැර වැඩි නිසා පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමක් පවතින බව පිටකොටුව එළවළු වෙළෙඳුන් පවසති.

 

More News..