සොයිසාපුර වෙඩික්කරුවන් පැහැරගත් යතුරුපැදිය සොයාගනී
21 October 2026
සොයිසාපුර වෙඩික්කරුවන් පැහැරගත් යතුරුපැදිය සොයාගනී
21 October 2026
මොරටුව, සොයිසාපුර ප්රදේශයේදී ආපනශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර පලාගිය සැකකරුවන් විසින් පැහැරගන්නා ලද යතුරුපැදිය පිළියන්දල, සිද්ධමුල්ල ප්රදේශයෙන් සොයා ගෙන තිබේ.
ඊයේ (20) රාත්රී 8:30 පමණ සොයිසාපුර පිහිටි ආපනශාලාවක් තුළ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, එහිදී ආපනශාලා හිමිකරු මියගොස් ඇති අතර තුවාල ලැබූ පාරිභෝගික කාන්තාවක් රෝහල්ගත කර ඇත.
පොලිසිය සඳහන් කළ පරිදි, මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු T-56 ස්වයංක්රීය ගිනි අවියක් භාවිතා කරමින් ආපනශාලා හිමිකරු ඉලක්ක කර මෙම ප්රහාරය එල්ල කර පළාගොස් ඇත.
පසුව ඔවුන් ගමන් කළ මෝටර් රථයේ හටගත් කාර්මික දෝෂයක් නිසා, පිළියන්දල, සුවාරපොළ ප්රදේශයේදී එය අතහැර දමා ඇත. අනතුරුව ඔවුන් අහසට වෙඩි තබා යතුරුපැදිකරුවෙකු බිය ගැන්වීමෙන් පසු ඔහුගේ යතුරුපැදිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබේ.
පොලිසිය විසින් පසුව සිදු කරන ලද සෙවීම්වලදී මෙම පැහැරගත් යතුරුපැදිය සිද්ධමුල්ල ප්රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.
මේ අතර, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයට අයත් අංක තහඩුවද වෙඩි තැබීම සිදු වූ ස්ථානයේදීම වැටී තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

