22 වැනි සංශෝධනය සහ සන්නද්ධ හමුදාවට පොලිස් බලතල ලබාදීම
25 September 2026
22 වැනි සංශෝධනය සහ සන්නද්ධ හමුදාවට පොලිස් බලතල ලබාදීම
25 September 2026
ආණ්ඩුව 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන සහිත) පනත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත හැටියට වෙනස්කර සන්නද්ධ හමුදාවට පොලිස් බලතල ලබා දී තිබෙන බව අරුණ ඊයේ (24) ප්‍රධාන පුවත හැටියට සඳහන් කර තිබිණි. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත හැටියට මුල් පනත වෙනස් කිරීමම ගැටලු මතු කරන බව අපගේ අදහසය. මෙහිලා ඇතිවන කනගාටුව නම් මෙවැනි බරපතළ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත ගැඹුරින් සාකච්ඡා කළ හැකි විපක්ෂයක් අපට නොමැතිකමය. මහජනතාවගේ ආරක්ෂාවට, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පැවැත්මට හානි වන ආකාරයට යොදාගත හැකි මෙවැනි අණ පනත් ප්‍රමාණවත් ආකාරයට පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වූයේද යන ගැටලුව අපට ඇතිවෙයි. මාලිමා ආණ්ඩුව පසුගිය කාලයේ ජනාධිපතිවරයාට තිබෙන බලතල අනුව හමුදාව කිහිප වතාවක්ම කැඳවූ ආකාරය අපි දනිමු. ආණ්ඩුව කරවන උදවිය විපක්ෂයේ සිටියදී එවක ආණ්ඩු මෙයාකාරයට හමුදාව කැඳවීම දැඩි විවේචනයට ලක් කළ අයුරු ද අපට අමතක නැත. තතු එසේ තිබියදී සන්නද්ධ හමුදාවට පොලිස් බලතල ලබාදීමට ආණ්ඩුව පියවර ගත්තේ කවර අරමුණකින් දැයි යන කුකුස ඇති විය හැකිය. සාමාන්‍යයෙන් හමුදාව මහජනතාව හා ගැටෙන කටයුතුවලට කැඳවනුයේ ඉතාම තීරණාත්මක අවස්ථාවලදී පමණි. මහජන ආරක්ෂාව පිළිබඳ පනතෙහි 12 වැනි වගන්තිය මගින්ද ඒ බව සඳහන් කර තිබේ.
2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසු එවක ජනාධිපතිවරයා සන්නද්ධ හමුදාව දිස්ත්‍රික්ක විසිපහ තුළම යෙදවීය. එවැනි කාලයකදී වුවද ජනාධිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සක්‍රිය කර යළි එය අක්‍රිය කළේය. අප දන්නා පරිදි මහජන ආරක්ෂාවට ජාතික ආරක්ෂාවට හානි කළ හැකි සන්නද්ධ නැගිටීමක්, ත්‍රස්තවාදී ව්‍යාපාරයක්, කැරැල්ලක් නොමැත. ආණ්ඩුවට එවැනි තර්ජනයක් පිළිබඳ තොරතුරු ලැබී තිබේ දැයි අප දන්නේ නැත. එවැනි තර්ජනයක් තිබේ නම් රට දැනුවත් කිරීම ආණ්ඩුවේ වගකීමය. අප දන්නා ඉතිහාසය අනුව විවිධ අවස්ථාවලදී සන්නද්ධ හමුදාව කැඳවීම බොහෝ ගැටලුවලට හේතු විය. රතුපස්වල සිදුවීම ඒ අතර බෙහෙවින් අවධානයට ලක් වූවකි. රතුපස්වල සිදුවීම පිටුපස වෘත්තීය සමිති මාෆියාවද තිබුණු බව අප නොදන්නවා නොවේ. හමුදාව යෙදවීම මගින් වතුර ප්‍රශ්නය රුහිරු ප්‍රශ්නයක් බවට පත්විය. එයට එරෙහිව ජනතාව උසිගන්වමින් උද්ඝෝෂණය කළ උදවිය වත්මන් ආණ්ඩුව තුළ සිටින බව ද සඳහන් කළ යුතුය. එසේ තිබියදීත් හමුදාවට පොලිස් බලතල ලබාදෙන්නේ කුමන අරමුණකටදැයි පැහැදිලි නැත. රටේ බලය ලැබුණු විට බොහෝ උදවියට උන් හිටි තැන් අමතක වන ව්‍යාධියක් නම් තිබෙන බව අපි දනිමු. ඉන්පසු එකී ආණ්ඩු අනුගමනය කරනුයේ යන්නේ කොහේද මල්ලේ පොල් ප්‍රතිපත්තියයි. පසුගිය දශකවල අප දුටුවේ එකී ප්‍රතිපත්තිය රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්කරගත් ආණ්ඩුය. පොලිසිය පුහුණු කර තිබෙන්නේ මහජනතාව ආරක්ෂා කරමින්, අවම බලය යොදවමින් කටයුතු කිරීමටය. එහෙත් හමුදාව පුහුණු කර තිබෙන්නේ ජාතික ආරක්ෂාවට එරෙහි කණ්ඩායම් උපරිම බලය යොදවමින් මර්දනය කිරීමටය. පොලිසිය සහ හමුදාව යනුවෙන් ආයතන දෙකක් තිබෙනුයේ ඒ ආකාරයට කාර්යභාරයන් දෙකක් එකී ආයතනවලින් අපේක්ෂා කරන හෙයිනි. ශ්‍රී ලංකා පොලිසිය වසර 150කට ආසන්න කාලයක් තිස්සේ පුහුණු වී තිබෙන්නේ එවැනි මහජන කාර්යභාරයකටය. සාමාන්‍ය ජනතාව සමග මුහුනොවන කඳවුරුවලට සීමා වී සිටින සන්නද්ධ හමුදාවට පොලිස් බලතල ලබාදීම මගින් ගැටලු මතුවීම නොවැළැක්විය හැකිය. පාස්කු ප්‍රහාරයෙන් පසු පාසල්වල ආරක්‍ෂාවට සන්නද්ධ හමුදාව යොදවනු ලැබූහ. එකල අක්මීමන ප්‍රදේශයේ පාසලකට තම දරුවා රැගෙන යාමට ගිය පියකු හමුදා සෙබළකු සමග බහින්බස් වූ අතර සෙබළා එය කෙළවර කළේ එම පුද්ගලයාට වෙඩි තැබීමෙනි. වෙඩි තැබීමෙන් ඔහු මිය ගියේය. මෙවැනි ගැටලු ඉදිරියේදී මතු වුවහොත් ආණ්ඩුව ඒවාට වගකියන්නේ ද යන බරපතළ ප්‍රශ්නය මතු කළ යුතුය.
පසුගිය කාලයේම අපට ඇසුණේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ආණ්ඩු බලය ලැබුණාට රාජ්‍ය බලය ලැබුණේ නැතැයි කියමින් නැගූ අඳෝනාය. සන්නද්ධ හමුදාවට පොලිස් බලතල ලබා දුන් පසු සැකකරුවන් සෝදිසි කිරීමට, අත්අඩංගුවට ගැනීමට නෛතික අවසරය හිමිවෙයි. එසේම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට හෝ එයට ආසන්න පොලිස් ස්ථානයට එම තැනැත්තා භාර දෙන තෙක් රඳවා ගැනීමට හමුදාවට අවසරය ලැබෙයි. මෙකී කරුණු කෙරෙහි ද අප සමාජයක් හැටියට අවධානය යොමු කළ යුතුය. අනෙක් අතට දේශීය හා විදේශීය වශයෙන් 22 වැනි සංශෝධනයට දැඩි විරෝධයක් එල්ල වුවද ආණ්ඩුව එය කෙසේ හෝ සම්මත කර ගැනීමට කැස කවයි. හමුදාවට පොලිස් බලතල ලබා දී මේ සූදානම් වනුයේ ඉන් පසු ඇතිවිය හැකි මහජන නැගිටීම මර්දනය කිරීමටද?

