Best News Website award
brand logo
logo
නීති කැඩු ප්‍රමුඛ පෙළේ දුරකථන අලෙවි සමාගමකට දඩ

නීති කැඩු ප්‍රමුඛ පෙළේ දුරකථන අලෙවි සමාගමකට දඩ

15 November 2026


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධාන උල්ලංඝනය කරමින්, ආනයනකරුගේ තොරතුරු කිසිවක් සඳහන් නොකළ ජංගම දුරකථනයක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ දුරකථන අලෙවි සමාගමකට රුපියල් 100,000කදඩ මුදලක් නියම කර තිබේ.


මෙලෙස දඩ නියම වී ඇත්තේ කොළඹ 03, ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ පිහිටි සමාගමකටය.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය දා අදාළ වෙළෙඳසැලේ සිදුකළ හදිසි වැටලීමකදී, මෙම නීති විරෝධී ජංගම දුරකථනය අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබියදී සොයාගෙන ඇත.


එම ජංගම දුරකථනය මත ආනයනික රට, ආනයනකරුගේ හෝ වෙළෙඳපොළට නිකුත් කරන්නාගේ නම, ලිපිනය සහ නියමිත සම්බන්ධතා තොරතුරු කිසිවක් සඳහන් කර තිබී නැත.


ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 නොවැම්බර් 11 වන දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මෙම නඩුව පවරනු ලැබීය.


2022 ජුනි 29 දිනැති අංක 2286/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධාන අංක 85 අනුව, මෙරටට ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩවල ඇසුරුම් හෝ බහාලුම් මත ආනයනික රට, ආනයනකරුගේ නම, ලිපිනය සහ සම්බන්ධතා තොරතුරු පැහැදිලිව සඳහන් කිරීම අනිවාර්ය වේ. අදාළ සමාගම විසින් මෙම නීතිමය විධානය ප්‍රසිද්ධියේ උල්ලංඝනය කර තිබේ.


මෙම සිදුවීමත් සමඟ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ජංගම දුරකථන ඇතුළු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ මිලදී ගැනීමේදී අදාළ ලේබල් තොරතුරු, වගකීම් සහතිකය (Warranty) සහ මිලදී ගැනීමේ නිල රිසිට්පත හොඳින් පරීක්ෂා කර බලන ලෙසටය. පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉදිරියටත් දැඩි වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව සිදුකරනු ඇත.


පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් හෝ පැමිණිලි සඳහා කාර්යාල වේලාවන් තුළ 1977 අංකය අමතන්න.

 

More News..