මහ මොළකරුවා!
27 September 2026
මහ මොළකරුවා!
27 September 2026
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් වූ අයට ගෙවුණ අඟහරුවාදා දුන් නඩු තීන්දුව අනුව සියවස් දෙකහමාරක් තිස්සේ ඔවුනට හිරේ ලගින්නට සිදුවේ. මේ නඩු තීන්දුව දීමට පදනම් වූ ඉංග්‍රීසි නීතිය ඇතුළු නීති භාවිත කරන්නට පටන් අරගෙනත් තවම ගෙවී ඇත්තේ සියවස් දෙකක් දෙකහමාරක් පමණ කාලයකි. මේ රටේ ඉන්නා හොඳම කල්පනාකාරයාටවත් තවත් සියවස් දෙක හමාරක් ඉක්ම ගිය කල තිබෙතැයි සිතිය හැකි නීතිය කෙබඳු වේදැයි තීන්දු කරන්නට බැරිය.
එය එසේ වුණත් මහ මොළකරුවා සොයාගත යුතු යැයි තවමත් කියයි. කතෝලික පල්ලියත් එසේ කියනවිට මේවා මෙහෙයවන මහ මොළකරුවා ගැන අපට තවත් පැත්තකින් කල්පනා කරන්නට සිතෙන අප්‍රමාණ දේ මේ රටේ සිදුව තිබෙයි. කිසිම ජගතෙකුට තවමත් සොයාගන්න බැරිවුණ තවත් මහ මොළකරුවකු ගැන සොයන්න 2005 වසර තරම් ඈතට යන්නට ඕනෑය.
දෙදහස් පහ වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වූයේ මේ රටේ මුස්ලිම් ජනතාවට සිටි හොඳම මිත්‍රයා ජනාධිපති පුටුවේ වාඩි වූ අවස්ථාව ලකුණු කරමිනි. බටහිර සහ යුරෝපා රටවල්ද ඊශ්‍රායලයද වද්දගත්තේ නැති ලංකාවේ දේශපාලනඥයන්ද නොසලකා හරින පලස්තීන මිත්‍ර සංගමයේ ලංකාවේ සභාපති වූයේ මහින්දය. එදා පලස්තීනයේ විමුක්තිදායක නායකයා වූ යසර් අර්පත්, ආසියාතික රටවල වඩා සැලකිල්ලට ලක් කළ ප්‍රධාන දේශපාලනඥයා වූයේ ද මහින්දය. පලස්තීන ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙළපාළි ගියේ මෙරට මුස්ලිම් ජනතාවට සිටි එකම දේශපාලනඥයාද වෙමිනි.
ඒ නිසාම 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී මහින්දට ඉහළම සහායක් ලැබුණේ මුස්ලිම්වරුන්ගෙනි. දෙමළ ඊළාමයට එරෙහිව යුද වදින විට ඒ සහාය මහින්දට ඉතා වැදගත් විය. පලස්තීනයේ ‘‘මහින්ද රාජපක්ෂ’’ නමින් මාවතක් නම් කරද්දී සුප්‍රකට ලිබියා රාජ්‍ය නායකයා වූ මුවමර් ගඩාපි ආසියාවේ මිත්‍රයා ලෙස සලකද්දී, ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩිනේජාඩ් ලංකාවට අවුත් උමාඔය ජලාශයට මුල්ගල තබද්දී මහින්දට මහා සහායක් දෙන්නේ මුස්ලිම් ලෝකයෙනැයි ලංකාවේ මුස්ලිම්වරුද උදම් ඇනූහ. එහෙත් යුද්ධය හමාර වී කෙටි කලක් ඇවෑමෙන් සිංහලයන් කමින් බොමින් සිටි ‘හලාල්’ නම් මුස්ලිම් ආගමේ චාරිත්‍රවලට අනුව හැදූ ආහාර ගැන අමුතු අදහසක් පැතිර ගියේය. වෙළෙඳපොළේ ආහාර අසුරණවල හලාල් යැයි සඳහන් කර තිබීම ජාතියේ නම්බුවට මදිකමක් බව කියවෙන්නට විය. මුස්ලිම්වරු දරුවන් බෝ කිරීමේ ශීඝ්‍රතාව ගැන බියක් පතුරුවා හැරිණි. දෙමළ ඊළාම්වාදීන්ට වඩා දරුණු සතුරා මුස්ලිමුන් බව හැම කඩපිලකම, මගතොටකම කතාබහ කෙරිණ. මුස්ලිමුන්ගෙන් ජාතිය ගලවා ගන්නට එතෙක් නොසිටි වීරයෝ බිහි වූහ. ගලබොඩඅත්තේ ඥානසාර හිමිත් මුස්ලිම්වරු අතරත් අලුත්ගමදී ඇති වූ ගැටුම මහින්දගේ හැරවුම විය.
මහින්ද 2015 ජනවාරි අටවැනිදා තෙවෙනි වරට ජනාධිපතිකමට ඉදිරිපත් වූයේය. එහි දී ඇතැම් මුස්ලිම් ඡන්ද මධ්‍යස්ථානවල පාවිච්චි වුණ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට අනූනවයක්ම හංස පැටව් යැයි මැතිවරණ නිරීක්ෂකයන් කීවේ හංසයා මහින්දගේ ප්‍රතිවාදියාගේ ඡන්ද ලකුණ වූ නිසාය. මහින්ද පරාද වී ගෙදර ගියත් මේ මහා විපර්යාසය කළ මහ මොළකාරයා කව්දැයි අසන්නට කිසිවකු තුළ විචාරශීලී බවක් ඉතිරි නොකරන්නට මහ මොළකාරයාට එදාද පුළුවන් වී තිබිණි.
මහින්ද වැනි දැවැන්ත නායකයෙක් ගෙදර යවන්නට පුළුවන් වීම ගැන විස්මයට පත්ව සිටි යහපාලන ආණ්ඩුව පටන් ගත් දා සිට කළේ මහින්ද කළ දේට ප්‍රතිපක්ෂ දෙයය. ඒ තමන්ට තීරණයක් ගන්න අසීරුම මොහොතේ කළ යුත්තේ ප්‍රතිවාදියා කරන දේට ප්‍රතිපක්ෂ දේ කිරීම යැයි කියැවෙන දේශපාලන සූත්‍රයට අනුවය.
මාවනැල්ලේ බුදුපිළිමයක සිරස බිඳීමත් ඒ ගැන ඔත්තුව දුන් මුස්ලිම් තරුණයකුට පහර දී ඔත්පල කිරීමත් කෙරුනේ මේ කාලයේය. ෂියා මුස්ලිමුන් සුපි මුස්ලිම්වරුන් කපා කොටා පහර දෙන වග ආරංචි වූයේ මඩකලපුවෙනි. මේ රට බෞද්ධ රටක් නොවන තැනට වැඩ කළ යුතු යැයි සහරාන්ගේ කල්ලිය දේශනා කරමින් ගියවග පාස්කු නඩුවේදීද හෙළිදරව් විය. ‘‘පාස්කු දා පල්ලි යන්න එපා’’ යැයි තමන්ට තාත්තා කී බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ පිළිගත්තේ එබඳු ප්‍රහාරයක් ගැන සාමාන්‍ය මිනිසුන් පවා දැන සිටි බව ඔප්පු කරමිනි. ‘‘ගහන බව අපි දැනගෙන හිටියා. මෙහෙම ගහයි කියා අපි හිතුවේ නැතැයි’’ ආරක්ෂක ලේකම්වරයා පල්ලියක දොරකඩදී බීබීසී පුවත් සේවයට කීවේ එය වගකිවයුත්තන්ද දැනගෙන සිටි තරම පෙන්වන්නටය. එබඳු තත්ත්වයක් රටේ තිබුණත් නෑසූ කන්ව ඉන්නා තැනට ආණ්ඩුව පත් කළේ මොන මහ මොළයෙන්දැයි එදාවත් කවුරුවත් සිතුවේ නැත. එදා බෞද්ධයන්ගේ සිත් තුළ විපර්යාසයක් ඇති විය. බෝම්බ ප්‍රහාරයට ලක් වූවන්ට ලේ දන් දෙන්නට භික්ෂූහු පෝලිමට ආහ. කැඩුන බිඳුන කටුවාපිටිය දේවස්ථානය අතුගා ශුද්ධකර දුන්නේ භික්ෂූන්ය. බෞද්ධයන් සහ කතෝලිකයන් බයිබලයේ සඳහන් ලෝකයේ මුල්ම සහෝදරයෝ වූ ‘කායින් සහ ආබෙල්’ වාගේ වූහ.
ඒ සහෝදරත්වයෙන් එක් වී යහපාලන ආණ්ඩුව ගෙදර යවා 2019 ගෝඨාභය බලයට ගෙනාවේ සිංහල බහුතරයකගේ ඡන්දවලින් පමණක් ජනාධිපති කෙනෙක් හදන්නට පුළුවන් බව මම විශ්වාස කළෙමියි’ ගෝඨාට උදම් අනන්නට මග පාදමිනි. සැබැවින්ම එය දකුණේ ජනතාවගේ බහුතර ඡන්දයෙන් ජනාධිපති කෙනෙක් පත් කළ එකම අවස්ථාව විය.
එහෙත් ගත වූයේ වසර දෙකකි. සිංහල බෞද්ධ බහුතරයේ ඡන්දෙන් පමණක් පත් වූ ගෝඨාභයට එරෙහිව ලක්ෂ ගණන් තරුණයෝ ගෝල්ෆේස් පිටියට ජාතික කොඩිය අරන් අවුත් මෙසේ කීහ.
‘‘ගමේ පන්සලේ බුදුපිළිමේ සිරස කැඩුවත්, අපි දෙමළ සහෝදරයකුගේ, මුස්ලිම් සහෝදරයකුගේ ඇඟට අත තියන්නේ නෑ කියලා පොරොන්දු වෙයව්.’’ ඊළඟට ඔවුන් කළේ සිංහල බෞද්ධ බහුතරයේ බලයෙන් පමණක් පත් කළ එකම රාජ්‍ය නායකයා පන්නා දැමීමය. ඒ මහා ජන අරගලය නිමා කෙරුණේ ‘සිංහල බෞද්ධ රාජ්‍ය දැන් ඉවරයි’ කියා බෞද්ධකම සිංහලකම වෙනුවෙන් හෙළ උරුමය හැදූ, ඒ වෙනුවෙන් මාරාන්තික උපවාස පවා කළ ඕල්පේ සෝභිත හාමුදුරුවන්ගේ ද කටින් කියවමිනි.
හිටපු පොලිස්පති, ආරක්ෂක ලේකම් දැන් මරණ දඬුවම ලැබ ජීවිතාන්තය දක්වා සිරගෙදරය. හිටපු ජනාධිපතිවරයකු කෝටි ගණනක් වන්දි ගෙවා ලැජ්ජාවට පත්කර අවසන්ය. යුද්ධයේදී යුද හමුදාවේ සිටි බුද්ධි අංශ ප්‍රධානි සලේ දින සියගණනක් පුරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේය. බුද්ධි අංශ ප්‍රධානියාගේ කතෝලික මාතාව තම පුත්‍රයා ගැන පාප් වහන්සේට දුක ලියන්නීය. තවදුරටත් මහ මොළකරුවා සොයා යා යුතු බවට කාදිනල්තුමා බල කරවයි.
දැන් බයිබලයේ සඳහන් ලොව පහළ වූ මුල්ම සහෝදරයන් දෙදෙනා වන කායිත් සහ ආබෙල් ලෙසම එක්ව පාස්කු ප්‍රහාරය දිනවල එකට බැඳී සිටි කතෝලිකයන් සහ බෞද්ධයන් ගෝල්ෆේස් අරගලයෙන් පසු ඉන්නේ කායිත් විසින් ආබෙල්ව කෙතේදී මැරුවා වාගේ විරසකයෙනි. වසර කීපයක් තුළ මෙතරම් දේ සිදුවන්නේ කොහොමද?

