brand logo
logo
පශ්චාත් උපාධිය හැදෑරීමට රට ගිය සරසවි ඇදුරන් කෝටි 340ක් පොලු තියලා

පශ්චාත් උපාධිය හැදෑරීමට රට ගිය සරසවි ඇදුරන් කෝටි 340ක් පොලු තියලා

12 August 2026 | නිලන්ත මදුරාවල

පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදෙස්ගත වී යළි නොපැමිණ ගිවිසුම් කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරු රජයට ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි තුන්සිය හතළිහක් බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුව) අනාවරණය විය.


මේ බව අනාවරණය වූයේ පාර්ලිමේන්තුවේ පැවැති එම කාරක සභාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල නිලධාරීන් කැඳවා තිබූ අවස්ථාවේ දී ය.


සභාපතිවරයා - ගිවිසුම් කොන්දේසි කඩකළ ආචාර්යවරුන් 68 දෙනකුගෙන් අය කළ යුතු රුපියල් මිලියන තිස් හතයි දශම හතක මුදලක් අය කරගෙන නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. බැඳුම්කර වටිනාකම තියෙනවා මිලියන විසිනවයක්. පොළිය තියෙනවා මිලියන අටයි දශම දෙකක්. තවද 2026 ජුනි 30 දිනට බැඳුම්කර කඩ කළ ක්‍රියාකාරී ආචාර්යවරුන් 56 දෙනකුගෙන් රුපියල් මිලියන 325.4ක මුදලක් අයවීමට නියමිත ය. ඇප ගිවිසුමේ කොන්දේසිවල පවතින අඩුපාඩු හේතුවෙන් මෙම මුදල් අය කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. මේක පොදු ප්‍රශ්නයක්. ඉතා විශාල මුදලක්. සියලු විශ්වවිද්‍යාලවල මේ ගිවිසුම් කඩ කිරීම් නිසා අයවිය යුතු මුදල කොපමණ වෙයි ද


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර - බිලියන තුනයි දශම හතරක්.


සභාපතිවරයා - මේ ප්‍රශ්නය නිරාකරණය කර ගත යුතුයි. මේක අවසන් කරන්න පියවර ගත යුතුයි. දියුණු කර ගත් මානව සම්පතක්. මෙහෙම අවස්ථා නිර්මාණ්‍ය වීමයි හේතුව. ගිවිසුම්වල දුර්වලතා හඳුනාගෙන තියෙනවා. ඇප අත්සන් කිරීම පවා සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. සමහර අයගෙ ලිපිනයන් වැරැදියි. සමහර ඒවායේ ලිපින පැහැදිලි නැහැ. සමහරකෙනෙක් ඇවිල්ලා මාස කිහිපයකින් යනවා. එක පද්ධතියක් ලෙස ගෙන අවසන් කරන්න හැකියාවක් නැද්ද.


ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න - මේ ගිවිසුම්වලට ඇතුළත් කරන්නේ නිවාඩු ගිය කාලයෙදි ප්‍රදානයන්වල මුදලත් ඇතුළත්වයි. ශිෂ්‍යත්වයෙන් ලැබෙන. අය කර ගැනීමට චක්‍ර ලේඛයක් හදලා තියෙනවා. දුර්වලතා තියෙනවා ගිවිසුම්වල. ගණන් වැඩි නිසා සාමාන්‍ය කෙනකුට අත්සන් කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. රක්ෂණ බැංකු සහතික අදහස් ගන්න යවලා තියෙන්නේ. උල්ලංඝනය කළ අය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කරන්න. විශ්වවිද්‍යාල මට්ටමින් කරන්න අමාරුයි. ඉහළ මට්ටමින් නීති පද්ධතියක් සකස් වෙනවා නම් හොඳයි.


මහාචාර්යවරයා - අපේ සීමාව තුළ කළ හැකි සියලු දේ කරනවා. රටින් ගියාට පසු ඇප අත්සන් කළ පස්සේ යනවා. උපරිම ලෙස අය කර ගන්නවා. වාර්ෂික සැලසුමේ තිබිය යුතුයි අවසන් කරන්න.


අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව - සභාපතිතුමා කිව්වා වෙන නීතිමය තත්ත්වයක් තුළ තමයි කරන්න ඕන කියලා. එහෙම වුණොත් වෙන්නේ වැරදිකාරයෙක් ලෙස හඳුන්වා දීමක්. මම හිතන්නේ නැහැ ඒවා කරන්න පුළුවන් දේවල් කියලා.


සභාපතිවරයා - අපේ රටේ මානව සම්පත මේ. මේ සියලු කාරණා එකතැනක දකින ව්‍යුහයක් ඕන. බිලියන තුනයි දශම හතර ලබන වසරෙදි බිලියන පහක් වෙන එක වෙයි.


උපකුලපති මහාචාර්ය ප්‍රසන්න මධුජිත් - මේ ගැන අපි නිතර කථා කරනවා. බදු ප්‍රශ්නයත් මේකට බලපාලා තියෙනවා. මීට පෙර ගිවිසුම් කඩ කළ බවට අනාවරණය වූ ආචාර්යවරු 68 දෙනෙක් ඉන්නවා. ඒ අයව අපට සම්බන්ධ කර ගන්න බැහැ. තානාපති කාර්යාල හරහා පවා අපි උත්සාහ කළා සම්බන්ධ කර ගන්න. නමුත් අලුත් අය අපි සමග සුහදව කටයුතු කරනවා. විස්සයි විස්ස වසරෙදි අය කර ගන්න ලැබුණෙ මිලියන 11යි. 2021දි මිලියන 28ක් අය කර ගන්න හැකි වුණා. 2022දි මිලියන 56කුත් 2023දිමිලියන 115කුත් 2024දි මිලියන 136කුත් අය කර ගත්තා. වසර අසූහතරක ඉතිහාසයේ වැඩිම මුදල අය කරගන්න පුළුවන් වුණේ 2025දි .ඒ මිලියන 201ක්. දැනට තිස් දෙනෙක් අපිට කොටස් වශයෙන් ගෙවමින් ඉන්නවා. ඇප කොන්දේසි වැඩි කළොත් ඒ අය අපෙන් ඈත් වෙනවා. දිට්වා ව්‍යසනයෙදි අපිට මිලියන 132ක් අපට ලබා දුන්නා ආචාර්යවරු . ඒ අතරින් සමහර අය ගිවිසුම් කඩ කළ අය මම හිතන්නේ. ඒ අය ඉංජිනේරු පීඨයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරන්න කැමතියි. මම දන්නේ ඒ අය ගිවිසුම් කඩ කළ අය ද කියලා. ඒ අය දිහා තරහින් බැලීම හොඳ නැහැ කියලයි මම හිතන්නේ.


මන්ත්‍රිවරයෙක් - විදෙස්ගත වෙලා ඉන්න ඒ අයගෙන් සේවය ලබාගන්න බැරි ද?


උපකුලපතිවරයා - ඉතාම කාලෝචිත ප්‍රශ්නයක් යොමු කළේ. ඒ අය ඇවිල්ලා බාහිර දේශන කරනවා. උදව් කරනවා. ඒ අයව කොහොම හරි ගෙන්වා ගැනීමයි වැදගත් වෙන්නේ.


සභාපතිවරයා - ඔවුන්ට දඬුවමක් පැනවීමකින් තොර විසඳුමක් අවශ්‍යයි. ඒ සඳහා තමන්ගෙ වාර්ෂික සැලැස්මට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරලා ඉදිරිපත් කරන්න.

 

More News..