DFCC බැංකුව සිය 70 වන සංවත්සරය අභිමානයෙන් සමරයි
10 July 2025
DFCC බැංකුව සිය 70 වන සංවත්සරය අභිමානයෙන් සමරයි
10 July 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය ආයතනය ලෙස 1955 දී ආරම්භ වූ DFCC බැංකුව, 2025 දී සිය 70 වැනි සංවත්සරය සමරන අතර තිරසාර අනාගතයක් උරුම කර දීමට කැපවී පරිසර හිතකාමීත්වය, නවෝත්පාදනය සහ තාක්ෂණික අන්තර්කරණය මූලික කරගත් සංවර්ධන මෙහෙවරක් හරහා රටේ දියුණුවට තවදුරටත් මහඟු දායකත්වයක් ලබාදෙයි.
DFFC බැංකුව ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට පියවර තැබූ පළමු මූල්‍ය ආයතනය විය. 1996 දී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි සහාය දක්වමින්, 2010දී ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රථම සූර්ය බලශක්ති ව්‍යාපෘතියට මූල්‍යය සපයා තිබේ. 2016දී ප්‍රධාන විදුලිබල පද්ධතියට සම්බන්ධ වූ පළමු ව්‍යාපෘතියටත්, 2017දී පුරෝගාමී වී පියසි මත සවිකරන සූර්ය ව්‍යාපෘතියකටත් සහ 2021දී අපද්‍රව්‍ය භාවිතයෙන් විදුලිය නිපදවූ පළමු ව්‍යාපෘතියටත් මූල්‍ය සහාය ලබා දුන්නේය. මෙම ක්‍රියාමාර්ග සියල්ල ජාතික මට්ටමින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට මහෝපකාරිවිය.
2023 වසරේදී DFCC බැංකුව Green Climate Fund (GCF) හි අනුමැතිය හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ආයතනය ලෙස පිළිගැනීමක් ලබා ගැනීම පරිසර හිතකාමී ගමන් මගේ මංසලකුනකි. මෙමඟින් DFCC බැංකුවට ඩොලර් මිලියන 250 දක්වා වටිනා ව්‍යාපෘති සඳහා, පුනර්ජනනීය බලශක්තිය, දේශගුණ හිතකාමී කෘෂිකර්මාන්තය සහ වෙරළබඩ ප්‍රදේශවල තීව්‍ර කාළගුණයන්ට ඔරොත්තු දිය හැකි ව්‍යාපෘති සඳහා, සහනදායී කොන්දේසි යටතේ මූල්‍ය පහසුකම් සැපයීමට අවස්ථාව හිමිවිය . UNDP සහ FAO වැනි ආයතන සමඟ එක්ව DFCC බැංකුව මේ වන විට රටේ පරිසර හිතකාමී මූල්‍ය ක්ෂේත්‍රයේ නව යුගයක් ආරම්භ කරමින් සිටී.
DFCC බැංකුව යුරෝපීය ආයෝජකයන් සමඟ සම්බන්ධවී විදේශ මුදල් ආකර්ෂණය කිරීමේ නව මාවතක් විවෘත කරගත් අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා විදේශ ප්‍රාග්ධනය යෙදවීමක් හා තිරසාර ආර්ථිකයකක් සෙවීමේ ප්‍රයත්නයක් ලෙසත් හැඳින්විය හැකිය. 2023 වසරේදී ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ DFCC බැංකු නියෝජිතයන් සමඟ සෘජු සාකච්ඡා පැවැත්වූ අතර, මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා බැංකුව ගන්නා පියවරයන් ලක්සම්බර්ග් හි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ ඇගයීමට ලක් විය. මෙම සහයෝගීතාව මගින් දෙපාර්ශ්වය අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් වූ අතර DFCC බැංකුව ජාත්‍යන්තරකරණය මැනවින් කලමනාකරණය කරමින් ක්‍රියාත්මක විය.
2024 වසරේදී DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර නිකුතුව සිදුකරමින් තවත් සාර්ථක ෛඑතිහාසික පියවරක් ගත් අතර, එය කොළඹ කොටස් වෙළඳපොළට සහ ලක්සම්බර්ග් Green Exchange (LGX) වෙළඳපොළට ලැයිස්තුගත විය. මේ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ESG නියාමනයන්ට අනුගතව විශ්වාසය සහ අවධානය දිනාගැනීමේ අවස්ථාවක් උදා විය. මෙම සාර්ථකත්වයට හේතුව ICMA Green Bond Principles සහ ශ්‍රී ලංකාවේ Green Finance Taxonomy වලට අනුකූල DFCC බැංකුවේ හරිත බැඳුම්කර රාමුව වන අතර, එය අනාගත හරිත බැඳුම්කර නිකුත්වලට ආදර්ශයකි.
DFCC බැංකුවේ හරිත බැඳුම්කර රාමුව 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල ජනනයෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාගැනීමේ ජාතික ඉලක්කයට සෘජුවම දායක වන අතර, රටේ තිරසාර දියුණුවට, මූල්‍ය සේවා මූලික කරගත් අනාගත හිතවාදී පියවරක් ලෙස සැලකිය හැක. DFCC බැංකුව 2016 සිට ESG මූලධර්මයන් තම ණය දීමේ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් කරමින්, පාරිසරික හා සමාජයීය බලපෑම කළමනාකරණය කළේය. 2024 අවසන් වනවිට, බැංකුව රු. බිලියන 4.4 කට අධික නව හරිත ණය නිකුත් කර තිබූ අතර, සමස්ත හරිත ණය වටිනාකම රු. බිලියන 12.9ක් විය. මෙම හරිත ණය ක්‍රමය මගින් අපද්‍රව්‍ය කළමනාකරණය, පුනර්ජනනීය බලශක්තිය, ජල සැපයුම සහ දේශගුණ හිතකාමී කෘෂිකර්මාන්තය සඳහා මූල්‍ය පහසුකම් පිරිනමනු ලැබේ. DFCC බැංකුව ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය තිරසාර කිරීමට ESG සංකල්පය ඔස්සේ දායක වේ. ආයතනික සේවාදායකයන්ට තම ESG රාමු වර්ධනය කිරීමෙන්, බැංකුව ඔවුන්ට යුරෝපය වැනි ජාත්‍යන්තර වෙළඳපොළවලට ඇතුළුවිමට උදව් වෙයි. තාක්ෂණික සහය, හරිත අරමුදල් සහ ප්‍රතිපත්ති මඟපෙන්වීම් ඔස්සේ, ගෝලීය නියාමනයන්ට අනුකූලව කටයුතු කරන අපනයනකරුවන් පිරිසක් නිර්මාණය කිරීමට DFCC බැංකුවට හැකි වී ඇත.
DFCC බැංකුව මෙහෙයුම්වල තිරසාරත්වය අනිවාර්ය අංගයක් ලෙස සලකයි. ඩිජිටල්කරණය, බලශක්ති හා කඩදාසි භාවිතය අවම කිරීම වැනි ක්‍රියාමාර්ග ඒ අතර වෙයි. 70 වන සංවත්සරය සමරන DFCC බැංකුව, වගකීම්සහගත දියුණුවකට කැපවී සිටින අතර, ආර්ථික ශක්තිය සහ පාරිසරික තිරසාරත්වය එකිනෙකට ප්‍රතිවිරුද්ධ නොවන අතර ජාතික සංවර්ධනයට අන්‍යෝන්‍ය වශයෙන් දායක වන බව විශ්වාස කරයි. මෙම දැක්ම DFCC බැංකුවේ මූලික දර්ශනයක් වී ඇත. ඒ විශ්වාසය එලෙසින්ම පවත්වා ගනිමින් ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන නව යුගයක් වෙත රැගෙන යාම DFCC බැංකුවේ අරමුණයි.