brand logo
logo
'ශ්‍රී ලංකාවේ විදුලිය' යෙවාන් නව කණ්ඩායමක් සමග එක්වේ

'ශ්‍රී ලංකාවේ විදුලිය' යෙවාන් නව කණ්ඩායමක් සමග එක්වේ

15 October 2026

ෆෝමියුලා 3 කාණ්ඩයේ මෝටර් රථ ධාවන තරග ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලාංකික යොවුන් මෝටර් රථ ධාවක 2027 තරග වාරය සඳහා ජර්මනියේ 'වැන් ආමර්ස්ෆෝර්ට් රේසින්ග්' කණ්ඩායම සමගින් ගිවිසුම්ගත වූ බව එම කණ්ඩායම නිල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (14 වැනිදා) ප්‍රකාශ කළේය.


යෙවාන්, සිය ප්‍රථම ෆෝමියුලා 3 මෝටර් රථ ධාවන තරගාවලිය සඳහා ඩුබායි හි 'ඒ.අයි.එක්ස්' මෝටර් රථ ධාවන කණ්ඩායම සමගින් එක්වූ අතර එහිදී ඔහු සමස්ත රියැදුරන් අතරින් 18වැනි ස්ථානය දිනාගැනීමට සමත් වූයේ සිල්වස්ටෝන් ධාවන පථයේ පැවැති තරගයෙන් දෙවැනි ස්ථානයත්, මොන්සා ධාවන පථයේ පැවැති තරගවලදී සිව්වැනි ස්ථාන දෙකක් ද හිමිකර ගනිමිනි. මෙම තරගවලදී ඔහු දක්වන ලද දක්ෂතා ඔහුව නව කණ්ඩායම සමග ගිවිසුම්ගත වීමට ඉවහල් වී තිබේ.


තමන්ට ලද අවස්ථාව පිළිබඳව 'ඒ.අයි.එක්ස්' අදහස් දක්වා ඇති යෙවාන් එහිදී, "එළැඹෙන 2027 වසරේ ෆෝමියුලා 3 තරග වාරය සඳහා 'වැන් ආමර්ස්ෆෝර්ට් රේසින්ග්' සමග එක්වීම නියම වේලාවට ගත් නිවැරැදි පියවරක් ලෙස මම විශ්වාස කරනවා. මෙම කණ්ඩායමට පැහැදිලි දැක්මක්, මනා අත්දැකීමක් සහ මට ක්‍රියාත්මකවීමට අවශ්‍ය ආකාරයට ගැළපෙන තරගකාරී මානසිකත්වයක් පවතිනවා. ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට, එම සංස්කෘතියට දායකවීමට සහ කනිෂ්ඨ තනි ආසන ධාවන තරග ක්ෂේත්‍රයේදී ඔවුන් සමග මගේ දක්ෂතා පරීක්ෂා කිරීමට මම කැමැත්තෙන් සිටිනවා. මෙවර අභියෝගය විශාලයි, නමුත් අවස්ථාවත් එසේමයි. 2027 වාරය පුරාම අඛණ්ඩව වැඩ කිරීමට, වර්ධනය වීමට සහ මට කළ හැකි සියල්ල ලබා දීමට මම සූදානම්." යනුවෙන් ප්‍රකාශ කොට තිබේ.


ප්‍රථමයෙන් 2024 වසරේදී ෆෝමියුලා ධාවන තරග ක්ෂේත්‍රය සඳහා එක්වූ යෙවාන් එහිදී ෆෝමියුලා 3 කාණ්ඩයේදී සිය ප්‍රථම තරග වාරයේදීම ඉහළ දස්කම් දක්වමින් එම තරග වාරයේ අනුශූරයා මෙන්ම හොඳම ආධුනික ධාවකයා ලෙසින් ද සම්මාන හිමිකර ගත්තේය.

 

More News..