අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව පරික්ෂණයක් ඉල්ලයි
13 June 2026 | ඉෂාර රත්නකාර
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව පරික්ෂණයක් ඉල්ලයි
13 June 2026 | ඉෂාර රත්නකාර
කථානායකවරයා ඇතුළු රජයේ ප්‍රධානින් කිහිපදෙනකුගේ දූෂණ අක්‍රමිකතාවන්ට අදාළ පැමිණිලි පිළිබඳව පියවර නොගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනය පරික්ෂණයක් වහාම පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය එම කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.
ඒ අනුව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් හිටපු ඇමැති ජී. එල්. පීරිස් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අත්සන සහිතව අදාළ ලිපිය අල්ලස් කොමිසමේ සභාපති විනිසුරු ඩබ්ලිව්. එම්. එන්. පී. ඉද්දවෙල වෙත යොමු කර ඇත.
බලශක්ති ඇමැති කුමාර ජයකොඩි රාජ්‍ය නිලධාරියකු ලෙස කටයුතු කරන අවස්ථාවේදී සිදුවූ අක්‍රමිකතාවක් පිළිබඳව නඩු පවරන ලද අවස්ථාවේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉතා පක්ෂග්‍රාහීව කටයුතු කර තිබෙන බවත් කථානායක ජගත් වික්‍රමරත්න විසින් සිදුකර ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බව පෙනෙන්නට නොතිබෙන බවත් ඒකාබද්ධ විපක්ෂය සිය ලිපිය මගින් චෝදනා කර තිබේ.
බාල ගල්අඟුරු ගෙන්වීමට අදාළව සිදුවූ දූෂණ හා අක්‍රමිකතා රැසක් පිළිබඳව පැමිණිලි ගණනාවක් අල්ලස් කොමිසම වෙත දැනටමත් ඉදිරිපත් කර තිබුණද ඒවා පිළිබඳව ද නිසි විමර්ශනයක් සිදුවන බවක් පෙනෙන්නට නැතැයිද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.
තවද දැනට මියගොස් සිටින ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ඒ සඳහා අත්තනෝමතික ලෙස කටයුතු කර ඇත්දැයි සොයා බලන ලෙස ද ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමේ සභාපතිවරයාගෙන් තවදුරටත් ඉල්ලා තිබේ.
එමෙන්ම වත්මන් රජයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද මෙතෙක් අල්ලස් කොමිසම විසින් නිසි පරිදි විමර්ශනය කර නොමැති ලිඛිත පැමිණිලි ඇතුළත් ලේඛනයක් ද ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය සමග අමුණා යවා ඇත.
ඒ අනුව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩිදුරටත් ඉල්ලා තිබේ.

