brand logo
logo
මෙසීගේ මායාවෙන් ආර්ජන්ටිනාව යළි අවසන් මහා තරගයට

මෙසීගේ මායාවෙන් ආර්ජන්ටිනාව යළි අවසන් මහා තරගයට

17 July 2026

අවසන් මිනිත්තුව දක්වා උද්වේගකර තරගයකින් අනතුරුව සුපිරි ක්‍රීඩක ලියොනෙල් මෙසීගේ සහයෙන් ගෝල 2-1ක් ලෙස එංගලන්තය පරදා පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමට ආර්ජන්ටිනා කණ්ඩායම මෙරට වේලාවෙන් ඊයේ (16 වැනිදා) අලුයම සමත් විය. පිටියේ ක්‍රීඩකයන් අතර පැවැති උණුසුම් වාතාවරණය තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගණයෙන් පිටත දෙරටේ ප්‍රේක්ෂකයන් අතර ගුටිබැට හුවමාරුවක් දක්වාම දුරදිග යාම කැපී පෙනුණි.


තරගයේ පළමු අර්ධය තුළ දෙපිලම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ නමුත් ගෝලයක් රැස් කිරීමට දෙපිලම අපොහොසත් විය. කෙසේ වෙතත් එම අර්ධය තුළ 'ෆවුල්' අවස්ථා 19ක් වාර්තා විණි. අනතුරුව දෙවැනි අර්ධයේ 55වැනි මිනිත්තුවේදී එංගලන්තය වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට ඇන්තනී ගෝඩෝන් සමත් විය. එතැන් පටන් මිනිත්තු 30ක් ගතවන තෙක් එංගලන්තය ජයග්‍රහණය බලාපොරොත්තු රඳවාගෙන සිටි නමුත් 85 වැනි මිනිත්තුවේදී සුපිරි ගෝලයක් වාර්තා කරමින් ආර්ජන්ටිනා ප්‍රේක්ෂකාගාරය යළි අවදි කිරීමට එන්සෝ ෆර්නෑන්ඩස් සමත් විය. නායකත්වයේ වගකීම ඉටු කරමින් ඒ සඳහා පන්දු පිරිනැමීම මෙසී විසින් සිදු කරන ලදී. අනතුරුව අතිරේක කාලයේ දෙවැනි මිනිත්තුවේ යළි ක්‍රියාත්මක වූ මෙසී තවත් විශිෂ්ට පන්දු පිරිනැමීමක් සිදු කරද්දී, හිසෙන් එල්ල කළ පහරකින් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ලෞතාරෝ මාර්ටිනෙස් සමත් වූවේය.


ඒ අනුව ආර්ජන්ටිනා කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටවල සිය අපරාජිත වාර්තාව රැක ගනිමින් 6වැනි වරටත් ජයග්‍රහණය වාර්තා කළ අතර මෙසී මෙවර තරගාවලියේ 5වැනි වරටත් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. තරගයෙන් අනතුරුව ඇට්ලැන්ටා ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණි දෙරටේ ප්‍රේක්ෂකයන් අතර උණුසුම් තත්ත්වයන් හටගත් අතර ගැටුම්වලට මැදි වූ ඇතැම් එංගලන්ත ප්‍රේක්ෂකයන් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර ඇත.


මේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන තරගය ප්‍රංශය සහ එංගලන්තය අතර මෙරට වේලාවෙන් එළැඹෙන 19 වැනිදා අලුයම 2.30ට මියාමිහිදී පැවැත්වීමට නියමිතය. සිය දෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණයේ බලාපොරොත්තුව සමග පැමිණෙන ස්පාඤ්ඤය සහ අඛණ්ඩ දෙවැනි ලෝක කුසලාන ජය සමගින් සිව්වැනි ලෝක කුසලාන දිනා ගැනීමට සැරසෙන ආර්ජන්ටිනාව අතර අවසන් මහා තරගය මෙරට වේලාවෙන් එළැඹෙන 20 වැනිදා අලුයම 12.30ට නිව්යෝක්හි නිව් ජර්සි ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතය.

 

More News..