brand logo
logo
අරවින්දට කෝටි 4 ක්අහිමි කළ නෑනාගේ ඇපය

අරවින්දට කෝටි 4 ක්අහිමි කළ නෑනාගේ ඇපය

04 October 2026 | සංජය නල්ලපෙරුම

නෑකමට උපකාරයක් කරන්නට ගිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට ගිය සතියේ රුපියල් කෝටි හතරක මුදලක් අහිමි වී ගියේය. ඒ අධිකරණ නියෝගයකිනි. අරවින්ද සිල්වා මේ මුදල අධිකරණයේ තැන්පත් කර තිබුණේ ඇප මුදලක් ලෙසය. ඒ සිය නෑනාට ඇප ගැනීමටය. අරවින්දගේ නෑනා එසේ නැතිනම් බිරියගේ සොයුරිය විවාහ වී සිටියේ ශ්‍රීලන්කන් එයාර්ලයින් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සමගය.


ශ්‍රීලන්කන් එයාර්ලයින් සමාගමට ගුවන්යානා මිලදී ගැනීමේදී වූ බව කියන දූෂණයන් සම්බන්ධයෙන් පොලිසිය මින් පෙර කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත්තේය. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එම යුවළ පසුව ඇප මත මුදා හැරුණි. කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ඇප මත මුදා ගැනීමට රුපියල් කෝටි හතරක ඇප තැබුවේ අරවින්දය. කපිල චන්ද්‍රසේනට ඇප තැබූ පිරිස මුදල් ගෙන සැකකරුවන් වෙනුවෙන් ඇප තබන කෙසෙල්වත්තේ පිරිසක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. ඒ ගැන පරීක්ෂණ පැවැත්වෙද්දී කපිල චන්ද්‍රසේන දිවිනසා ගත්තේය.


ඉන්පසු අධිකරණය ඔහුගේ බිරිඳට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියම කළද, ඔස්ට්‍රේලියාවේ සිටින ඈ ලංකාවට පැමිණියේ නැත. ඈ අධිකරණය මගහැරීමේ වරදට අවසානයේ වන්දි ගෙවීමට සිද්ධ වූයේ අරවින්දටය.


සැකකරුවෙක් වෙනුවෙන් ඇප තැබීම යනුවෙන් කියන්නේ කුමක්ද? මේ ඒ ගැන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් ලියූ ලිපියකි.


අපේ නීතියේ ඇප සම්බන්ධයෙන් කතා කරන විට, ඇප දෙන්නේ කුමක් සඳහාද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. කිසියම් පුද්ගලයෙක් සැක පිට අධිකරණයට ඉදිරිපත් කළ පසුව එම නඩුවේ අවසානයක් දක්වා වන කාලය තුළදී නැවත අධිකරණයට පැමිණෙන බවට දෙන පොරොන්දුව ඇපයක් වේ. එම පුද්ගලයා අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා ඔහුට ඇප නියම කරනු ලබයි.


අපේ රටේ ඇප වර්ග කිහිපයක් දැකිය හැකිය. කවුරුත් දන්නා මුදල් ඇපය එයින් එක් ඇප වර්ගයකි. සැකකරුට හෝ විත්තිකරුට මුදල් ඇප තැබිය නොහැකිය. ඔහු වෙනුවෙන් වෙනත් අයෙක් ඒ සඳහා ඇප තැන්පත් කළ යුතුය. ඉන් පසුව ශරීර ඇප තිබේ. ශරීර ඇප තැබීමේදී සැකකරු හෝ විත්තිකරු වෙනුවෙන් වෙනත් අයෙක් ඉදිරිපත් වී මම මෙම පුද්ගලයා අවශ්‍ය අවස්ථාවලදී අධිකරණයට රැගෙන එන බවට පොරොන්දු වේ. ඒ සඳහා යම් වටිනාකමකට අත්සන් කරනු ලබයි. ශරීර ඇප තබන විට අධිකරණය විසින් ඇතැම් අවස්ථාවලදී එම පුද්ගලයා පදිංචි සහතිකය ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙයි. සමහර අවස්ථාවලදී අනවශ්‍ය ආකාරයට ඔහුගේ වත්කම් ගැන සොයා බැලීමට පොලිස් වාර්තා කැඳවීමට කටයුතු කරයි. ඒවා එතරම් ප්‍රඥාගෝචර දේවල් නොවේ.


මේ අතරවාරයේ සහතික ඇප යනුවෙන් ඇප වර්ගයක් ද තිබේ. සහතික ඇප තැබීමේදී මුදලින් හෝ ඔප්පුවකින් ඇප තැබිය හැකිය. ඔප්පුවකින් ඇප තබන විට අතේ තිබෙන ඔප්පුවක් ගෙන ගොස් ඇපයක් සේ තැබිය නොහැකිය. එම ඔප්පුවේ වටිනාකම පිළිබඳ සහතිකයක් ගත යුතුය. ග්‍රාම සේවක හා ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකයක් සහිතව එය ඉදිරිපත් කළ යුතුය. රුපියල් පන්දහසක විටිනාකමක් සහිත ඉතා පැරණි ඔප්පුවක් කිසියම් අයෙක් ඇප තිබිය හැකිය. එහෙත් එම ඉඩම වර්තමානයේදී ලක්ෂ පහක් පමණ වටිනවා නම් වටිනාකම් සහතිකයේ වර්තමාන වටිනාකම සඳහන් කරයි. ඔප්පුවක් ඇපයට තබන විට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් අදාළ ඉඩමට සම්බන්ධ අවසාන කොටසේ උද්ධෘතයක් ගත යුතුය. එහි සහතික පිටපතක් ගත යුතුය. එය සහ වටිනාකම් සහතිකය ඇපයක් සේ ඉදිරිපත් කළ හැකිය. එම ඔප්පුව විකුණුම්කරයක් හෝ තෑගි ඔප්පුවක් විය යුතුය. එසේ නොමැතිව බදු ඔප්පුවක් හෝ උකස් ඔප්පුවක් ඇප සේ තැබිය නොහැකිය. මෙවැනි අවස්ථාවලද නොබෙදූ ඉඩමක් ඇපයක් සේ ගන්නේ නැත.


සුළු අපරාධ සම්බන්ධයෙන් පුද්ගලික ඇප නියම කරයි. එම පුද්ගලයාටම කිසියම් ආකාරයේ බැඳුම්කරයකට අත්සන් කර පිටත්ව යයි. ඇපකරුවන් දෙදෙනෙක් තුන්දෙනෙන් ආදී වශයෙන් බරපතළ කම මත ඇප නියම කරයි.


ඇප ගැනීමෙන් පසුව අදාළ සැකකරු හෝ විත්තිකරු අධිකරණයට ඉදිරිපත් වූයේ නැතිනම් මුල් අවස්ථාවේදී අධිකරණය අදාළ පුද්ගලයා නොපැමිණීමේ හේතුව ඇපකරු පැමිණ අධිකරණය හමුවේ ප්‍රකාශ කළ යුතුය. ඇතැම් විට වෙනත් නඩුවකට රිමාන්ඩ් වී සිටිය හැකිය. නැතිනම් තදබල අසනීපයක් විය හැකිය. එසේ කරුණු දැක්වූ විට වරෙන්තුවක් නිකුත් කරන්නේ නැත. ඇපකරුත් පැමිණ නැති අවස්ථාවලදී එම පුද්ගලයාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරයි. ඇපකරුවන්ට නොතීසි නිකුත් කරයි. ඇපකරුවන්ට නොතීසි නිකුත් කරන අවස්ථාවේදී අදාළ පුද්ගලයා වරෙන්තුවට අදාළව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හැකිය. නැතිනම් ඇපකරුට නොතීසිය ලැබුණ පසුව ස්වේච්ඡාවෙන් විත්තිකරු හෝ සැකකරු ඉදිරිපත් කළ හැකිය.


මෙහිදී සැකකරු හා විත්තිකරු යනුවෙන් වචන දෙකක් භාවිත කරන්නේ හේතු සහිතවය. මුල් වතාවේදී චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන තුරු පුද්ගලයෙක් සැකකරුවෙක් ලෙස හඳුන්වයි. සැකකරු ඉදිරිපත් කළ පසුව ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි තිබේ නම් ඔහුට විරුද්ධව මහෙස්ත්‍රාත් අධිකරණයේ හෝ නීතිපතිවරයා විසින් මහාධිකරණයේ අධි චෝදනා පත්‍රයක් ගොනු කරනු ලබයි. එතැනදී එම පුද්ගලයා විත්තිකරු නැතිනම් චුදිත නමින් හඳුන්වයි. චූදිත යැයි කීවත් නඩුව අවසානය වන තෙක් නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය ඔහුට හිමිවේ.


නඩු විභාගයේදී හෝ නඩු පැවරීමට පෙර එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඇපකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ. සැකකරු හෝ විත්තිකරු ඉදිරිපත් කිරීමට කාලයක් දෙන ලෙසට ඔවුන්ට ඉල්ලීම් කළ හැකිය. ඒ සඳහා ඇපකරුට අධිකරණයෙන් අවස්ථාව දේ. එවැනි අවස්ථා එකක් හෝ දෙකක් දුන් විට සැකකරු හෝ විත්තිකරු ඉදිරිපත් කිරීමට නොහැකිවූ අවස්ථාවලදී ඇප රාජසන්තක කිරීමට හේතු ඇතිවේ.


තමන් ශරීර ඇපයක් තබා ඇති අවස්ථාවකදී, ඇපය රාජසන්තක නොකිරීමට හේතු ඇපකරු විසින් ඉදිරිපත් කළ යුතුය. එවිට ඇපකරු රිමාන්ඩ් කළ නොහැකිය. තමන් තබා ඇති ඇපය රාජසන්තක කිරීමට හේතු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇපකරුට හිමිවූ විට ඒ සඳහා වන සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතුය. තමන් ගෙදර නිදා සිටින විටදී ඇපයට අත්සන් කරන්න යැයි කියූ බවත්, එවිට පැමිණ ඇප තැබූ බවත් කිව නොහැකිය. කිසියම් අයෙක් ඇප තැබීමට එන්නේ නම් එහි වගකීම දැනගෙන පැමිණෙන බවට අධිකරණය විශ්වාස කරයි. එම පුද්ගලයා රිමාන්ඩ් වන නිසා තමන් පැමිණ ඇප අත්සන් කළ බවත්, දැන් එම පුද්ගලයා ඉදිරිපත් කළ නොහැකි බවත් අධිකරණය හමුවේ පැවසිය නොහැකිය. එවැනි අවස්ථාවකදී එම ඇප මුදල් රාජසන්තක වේ. ඇපකරුගේ තිබෙන තත්ත්වය ගැන අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව යම් කිසි ප්‍රතිශතයක් පමණක් රාජසන්තක කිරීමට කටයුතු කරයි.


මුදල් ඇපයක් තැන්පත් කිරීමේදී ඒ වන විටත් ඇප මුදල් අධිකරණයේ තබා තිබේ. එම ඇප මුදල රාජසන්තක නොකිරීමට සාධාරණ හේතු නොතිබෙන්නේ නම් ඉබේම එම මුදල රාජසන්තක වේ. ශරීර ඇපයක් තබා ඇති අවස්ථාවකදී මුදල් අධිකරණයේ තැන්පත් කරන්නේ නැත. පුද්ගලයෙක් අත්සන් කිරීමක් පමණක් කෙරේ. ශරීර ඇප තබා, එය රාජසන්තක වූ විට එක්වරම එම ඇප මුදල ගෙවීමට හෝ කොටස් වශයෙන් ගෙවීමට අධිකරණය නියෝග කළ හැකිය. එවැනි අවස්ථාවලදී ඇප මුදල ගෙවීමට නොහැකි වුවහොත් දඩයකට හෝ සිර දඬුවමකට ඇපකරුට යටත්වීමට සිදුවේ.


ඇප අය කරගැනීමේදී ඇපකරුගේ වත්කම් පරීක්ෂා කර බලා, එම වත්කම් රාජසන්තක කර, වෙන්දේසි කර එම මුදල් ගත හැකිය. ලක්ෂ දහයක ඇපයකට අත්සන් කර මුදල් ගෙවීමට නොහැකි නිසා දේපළ රාජසන්තක කර වෙන්දේසි කිරීමෙන් ලැබෙන මුදලින් අදාළ ඇප මුදල අය කරගෙන ඉතිරි මුදල් ඇපකරුට දේ. ඇපකරුට අවස්ථාව නොදී එක්වරම ඇප මුදල රාජසන්තක කරන්නේ නම් අභියාචනයක් ඉදිරිපත් කර ඒ සඳහා සහන ඉල්ලා සිටිය හැකිය.


ඇප ඉල්ලීම් ඉදිරිපත් කරන විට මහෙස්ත්‍රාත් අධිකරණයේදී වාචිකව ඇප ඉල්ලීමක් කළ හැකිය. සමහර අවස්ථාවලදී සමහර අධිකරණ ලිඛිතව ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස දැනුම් දේ. සමහර අධිකරණවලදී ඉදිරිපත් කරන චෝදනා අනුව මහෙස්ත්‍රාත්වරයාට ඇප දිය නොහැකිය. එවැනි අවස්ථාවලදී ඇප ඉල්ලීම මහාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය. සමහර අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේදී ඇප ගැනීම සඳහා සුවිශේෂී හේතු ඉදිරිපත් කළ යුතුය. මිනීමැරීමේ චෝදනාවකට පුද්ගලයෙක් ඉදිරිපත් කළ විට ඇප ගත හැක්කේ මහාධිකරණයෙන් පමණි.


විෂ වර්ග, අබිං හා අන්තරායකර ද්‍රව්‍ය පනතේ ග්‍රෑම් දහයකට වඩා වැඩි අවස්ථාවලදී, රස පරීක්ෂක වාර්තා එන තුරු එම පුද්ගලයාට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටීමට සිදුවේ. කිසිදු හේතුවක් නොමැතිව බන්ධනාගාර ගතව සිටීමට සිදුවේ. ඒ සඳහා ඇප දීමේ බලය ඇත්තේ අභියාචනාධිකරණයටය. මේ තත්ත්වය වෙනස් කරන ලෙස ඉල්ලීම් කර ඒ සඳහා වන සංශෝධන අධිකරණ ඇමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. දැන් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.


ඇප තැබීමේදී පවුලේ අයෙක්, ඥාතියෙක් ඇප තැබිය යුතු යැයි ඇතැම් අවස්ථාවලදී සාකච්ඡාවේ. මීට පෙර රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට පමණක් ඇප තැබිය හැකි වූ කාලයක් තිබිණි. කොතරම් ළඟ ඥාතියෙක් වුවත් රැකියාව අහිමිවේ යැයි බිය නිසා ඇප තැබීමට ඉදිරිපත් වන්නේ අඩුවෙනි. ශරීර ඇප තැබීමේදී ළඟම ඥාතියෙක්ට ඇප තබන සේ දැනුම් දේ. එවැනි අවස්ථාවලදී ඇප තැබීමේදී ඥාතීත්වය ඔප්පු කිරීමට කසාද සහතිකය හෝ උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමට සිදුවේ. ඥාතීත්වය තරමක් ඈත තිබෙන අවස්ථාවකදී ඥාතියෙක් වුවත් ඔප්පු කිරීම අපහසු නිසා ඇප නියම කිරීමේදී ඥාතීත්වයක් සඳහන් නොකර ඇප නියම කරන සේ ඉල්ලා සිටිය හැකිය. ඇප තබන පුද්ගලයාට ජාතික හැඳුනුම්පතත්, පදිංචිය සහතික කිරීමට ග්‍රාම සේවක සහතිකයත් ඉදිරිපත් කිරීමට සිදුවේ.


ඇප දීමත් සමගින් ඇප පනත ගැනත් අවධානය යොමු කළ යුතුය. පුද්ගලයන් නිරපරාදේ රිමාන්ඩ් කිරීම ගැන මහාචාර්ය ජී.එල්.පීරිස් අධිකරණ ඇමැතිවරයාව සිටි කාලයේදී අවධානය යොමුවිය. මේ සමගින් ඇප පනත ඉදිරිපත් විය. ඇප දීම නීතියත්, ඇප නොදීම ව්‍යතිරේකය බවත් එහි දැක්වේ. මේ ගැන අවධානය යොමු නොකරමින් පොලිසිය සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කරන විට රිමාන්ඩ් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටී.


1997 දී ඇප පනත ඉදිරිපත්වූ දිනයේ සිට මේ දක්වා ඇප පනත ක්‍රියාත්මක වේ. ඇප දිය හැකි වරදවල්, ඇප නොදිය හැකි වරදවල් හා කිසිසේත්ම ඇප දිය නොහැකි වරදවල් යනුවෙන් වරදවල් තුනක් එහි දැක්වේ. ඇප දිය හැකි වරදවල් යනුවෙන් අදහස් වන්නේ යම්කිසි පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයාට බැඳුම්කරයක් මත අත්සන් කළ යා හැකි සුළු වරදවල්ය. ඒ වරදවල් අපරාධ නඩු විධාන සංග්‍රහයේ උප ලේඛනයේ දැක්වේ. වෙනත් පනතක ඇප ප්‍රතිපාදන සඳහන් වන විට ඇප පනත අදාළ වන්නේ නැත. උදාහරණයක් ලෙස විෂ මත්ද්‍රව්‍ය අබිං හා අන්තරායකර පනතේ ඇප ප්‍රතිපාදන වෙනම දක්වා තිබේ.


ඇප දීමේදී සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කරනවාද, නැවත එම වරද කරාවිද, මහජන කැලඹීමක් ඇතිවන්නේද යන්න ගැන පැහැදිලි තොරතුරු තිබෙන්නේ නම්, ඒවා ඉදිරිපත් කර ඇප දිය හැකි වරදකට වුවත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කළ හැකිය.


ඇප දිය නොහැකි වරදවල් යනුවෙන් සඳහන් වන්නේ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇප දිය නොහැකි වරදවල්ය. එම ඇප දිය හැකි වන්නේ මහෙස්ත්‍රාත් අධිකරණයකටය. පරීක්ෂණ කටයුතු තවදුරටත් කරගෙන යාමට, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යැයි කියමින් පුද්ගලයෙක් දිගින් දිගටම රිමාන්ඩ් කළ නොහැකිය.


ආගමන විගමන පනත යටතේ හා පුරාවස්තු පනත යටතේ වරදවල්වලට ඇප දිය නොහැකි වරදවල් සේ සඳහන් කර තිබිණි. සරත් එන්. සිල්වා අගවිනිසුරුතුමා දුන් නියෝග අනුව ආගමන විගමන පනතට සංශෝධන ඉදිරිපත් විය. ඒ අනුව ආගමන විගමන පනත යටතේ කිසියම් අයෙක් රට යන පුද්ගලයාට ඇප දිය හැකිය. බලපත්‍ර නොමැතිව ඒවා සංවිධානය කරන අයට ඇප දෙන්නේ නැත. එවැනි අවස්ථාවලදී මහාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර සුවිශේෂී හේතු මත ඇප ගත හැකිය. ඒ අනුව කිසිසේත්ම ඇප ගත නොහැකි නැතිනම් ඇප නැති වරදවල් දැන් ඇත්තේ පුරාවස්තු පනත යටතේ කටයුතු කරන විට පමණි.

 

More News..