brand logo
logo
පසුගිය වසර පහක් ඇතුළතදී ළමයින් 11409ක් හිංසනයට ලක්වෙලා

පසුගිය වසර පහක් ඇතුළතදී ළමයින් 11409ක් හිංසනයට ලක්වෙලා

07 April 2026 | •වරුණි පෙරමුණ

පසුගිය වසර පහක කාලය තුළදී මෙරට ළමුන් එකොලොස්දහස් හාරසිය නවදෙනෙකු (11409) කායික දණ්ඩනයට සහ හිංසනයට ලක්ව ඇති බව අනාවරණය වෙයි.


ළමුන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් කායික දණ්ඩනය, ළමා ආරක්ෂාව සහ ධනාත්මක ශික්ෂණය සම්බන්ධව කොළඹදී ඊයේ (04වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ නීතිවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මේ බව ප්‍රකාශ කළාය.


දණ්ඩ නීති සංගහ්‍රයේ 308 (ආ) වගන්තියට අනුව අපරාධමය වරදක් යටතේ වන පැමිණිලි ලෙස දෙදහස් විසිඑක වසරේ සිට මේ වසර දක්වා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මෙම පැමිණිලි ලැබී ඇත.

අවුරුදු දහඅටට අඩු දරුවන් බොහෝ දෙනා නිවසේදී සහ පාසලේදී මෙසේ කායික දණ්ඩනයට ලක්ව තිබේ.


එසේම පසුගිය වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි දසදහස් හාරසිය පනස්පහෙන් පැමිණිලි දෙදහස් අනූනවයක් ළමයින් කෘ‍ෘරත්වයට පත්කිරීම සම්බන්ධව ලැබී ඇති බවද අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය.


අවුරුදු විසිපහක පමණ කාලයක සිට මෙම තත්ත්වය තුරන් කිරීම සඳහා කටයුතු කරමින් සිටියද එය නිසි අයුරින් ක්‍රියත්මක වී නොමැත.


මෙම තත්ත්වය වළක්වාලීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ කායික දණ්ඩනය අහෝසි කිරීමේ සංශෝධන පනතෙහි 308 (ආ) වගන්තිය සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.


මෙම පනත සංශෝධනය කිරීම සිදුකරනු ලබන්නේ දිවයිනේ සිටින මහාචාර්යවරු, ආචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයනයන් පදනම් කරගනිමින් බවද සභාපතිවරිය වැඩිදුරටත් මෙහිදී සඳහන් කළාය.

 

More News..