brand logo
logo
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි‍යට ජනතාවගෙන් චෝදනා

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි‍යට ජනතාවගෙන් චෝදනා

06 November 2026 | සාලිය කුමාර ගුණසේකර


පාරිභෝගික ජනතාව විසින් 1977 ක්ෂණික දුරකථන අංකයට සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොවන බවට ජනතාව චෝදනා කරති.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික දුරකථන අංකයට ලැබෙන පැමිණිලි අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලට යොමු කෙරේ. අදාළ දිස්ත්‍රික්කයේ සහකාර දිස්ත්‍රික් ලේකම්වරයකු, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂකවරයෙක් හා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් අදාළ පැමිණිලි විභාග කරනු ලැබේ. මෙම නිලධාරීන්ට නිසියාකාර බලය පැවරීමක් කර නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට වසරකට පැමිණිලි 2,500 ක් පමණ ලැබෙන අතර, ඉන් පැමිණිලි සියයට 60 කට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ බස්නාහිර පළාතෙනි.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තුළ පැමිණිලි විමර්ශන ඒකකයක් මීට වසර ගණනාවකට පෙරදී ස්ථාපිත කර තිබූ අතර, වෙළෙඳ ඇමැතිවරයා ලෙස නලීන් ප්‍රනාන්දු කටයුතු කරන සමයේදී එම ඒකකයේ බලතල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට පැවරීමට කටයුතු කෙරිණි.


නමුත් මෙහිදී නිසියාකරව එම නිලධාරීන්ට බලය පැවරීමක් සිදුකර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්ගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ජනතාව විසින් සිදු කරන පැමිණිලි සම්බන්ධව විමර්ශනය කරන බවය. දිනකට පැමිණිලි 75 ත් 100 ත් අතර සංඛ්‍යාවක් අධිකාරියට ලැබෙන බවද ඔහු කීවේය.


‘1977’ ක්ෂණික දුරකථන අංකයට ලැබෙන පැමිණිලි ඒ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යොමු කෙරෙන බවද සභාපතිවරයා පැවැසීය.


මෙලෙස යොමු කෙරෙන ලද පැමිණිලි සම්බන්ධව සතියකට වරක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී රැස්වන නිලධාරී කණ්ඩායම විසින් විමර්ශනය කරන බවද ඔහු පැවැසීය.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විමර්ශන නිලධාරීන් 120 ක් බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම පසුගිය කාලයේ සිදු කෙරුණු බවත්, ඊට අයැදුම්පත් 5,000 කට වැඩි ප්‍රමාණයක් ලැබුණු බව ද සභාපතිවරයා කීවේය.


එම අයැදුම්පත් අතරින් වැඩිම ලකුණු ලබාගත් 300 ක් තෝරා දෙවන වටයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද, ඉන් විමර්ශන නිලධාරීන් 120 ක් තෝරා ගැනීමට නියමිත බවද ඔහු පැවැසීය.

 

More News..