බස් නැවතුමේදී හදුනාගත් කතට යෝගට් පානයක් දී රන් බඩුවලට විදලා
05 November 2026 | •බිමල් ජයසිංහ- බණ්ඩාරගම
බස් නැවතුමේදී හදුනාගත් කතට යෝගට් පානයක් දී රන් බඩුවලට විදලා
05 November 2026 | •බිමල් ජයසිංහ- බණ්ඩාරගම
බොරලැස්ගමුව නීලම්මහර ප්‍රදේශයේ නිවසකට ආරාධනයකට පැමිණි පුද්ගලයකු එම නිවසේ විසූ 64 හැවිරිදි කාන්තාවකට යෝගට් පානයක් ලබාදී සිහි නැතිකර එම කාන්තාව පැලඳ සිටි රුපියල් ලක්ෂ දාහතකට අධික වටිනාකමක් ඇති රන් ආභරණ සහ ස්මාර්ට් ජංගම දුරකතනයක් සොරාගෙන ගොස් තිබේ.
එම කාන්තාව පැලඳ සිටි පවුම් 02 ක රන් මාලය, පවුම් භාගයක පෙන්ඩනය හා අල්මාරියේ දමා තිබූ පවුම් භාගය බැගින් වූ මුදු 02 ක්, පවුම් එක හමාරක වළල්ලක්, පවුම් කාලක මුදුවක් මෙන්ම ඇයගේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයද සොරා ගත් භාණ්ඩ අතර වන බව පොලිසිය පවසයි.
පැමිණිලිකාර කාන්තාව අවශ්‍යතාවක් සඳහා ඉකුත් ඔක්තෝබර් මස 25 වැනි දින පිටකොටුවට ගොස් නිවසට පැමිණීම සඳහා බස් නැවතුමේ සිටියදී අහම්බෙන් නෙත ගැටුණු පුද්ගලයකු සමග හිතවත්කමක් ඇතිවී කතාබස් කර ඇත.
ඔහු කළුතර ප්‍රදේශයේ පදිංචි බවත් 52 හැවිරිදි ඔහු නාවික හමුදාවේ සේවයේ නියුතු අයෙක් බවත් කාන්තාවට පවසා ඔවුනොවුන් අතර දුරකථන අංක හුවමාරු කරගෙන තිබූ බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය පවසයි.
ඉකුත් දින කීපයම දුරකථනයෙන් අදහස් හුවමාරු කරගෙන තිබූ දෙදෙනා කාන්තාවගේ ආරාධනයෙන් ඉකුත් 02 වැනිදා පෙරවරු 10.45 ට පමණ ඇය පදිංචි නිවසට කාත් කවුරුත් නොමැති අවස්ථාවක පැමිණ ඇත.
එම පුද්ගලයා පැමිණෙන විට කේක්, රෝල්ස්, පැටිස්, ඇතුළු දෙදෙනාටම ප්‍රමාණවත් පරිදි කෙටි ආහාර කීපයක් මෙන්ම යෝගට් පානයක් ද රැගෙන විත් ඇත. මෙහිදී කාන්තාව විසින් මෙම පුද්ගලයා රැගෙන ආ යෝගට් පානයක් පානය කර ඇති අතර ඒ සමගම ඇයට නින්ද ගොස් ඇත.
සවස 5.30 ට පමණ අවදි වී ඇති මෙම කාන්තාව සිහි මද ගතියෙන් නිවස තුළ මෙන්ම නිවසින් පිටතට ගොස් යාබද නිවාසවලටද විවිධ දෑ පවසමින් ඇවිදීමට පටන් ගෙන ඇත.
මෙම වයෝවෘද්ධ කාන්තාවගේ නිවසේම පදිංචි සමීප ඥාතිවරියක් රැකියාව නිමවා මඳ වේලාවකින් පැමිණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා නිවසට සොරු ඇතුළු වී ඇති බවට පැමිණිලි කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව පොලිස් නිලධාරීන් පැමිණ සිදු කළ විමර්ශනවලදී සොරුන් නොව නිවසේ පදිංචිකාරියකගේ ආරාධනයෙන් පැමිණි පුද්ගලයකු මෙම සොරකම සිදුකර ඇති බවට හෙළිකර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
පැමිණි පුද්ගලයා කුලී ත්‍රිරෝද රථයකින් පැමිණි බවට කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් පලිහවඩනගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිමුතු රත්නායක ඇතුළු කණ්ඩායමක් පරික්ෂණ පවත්වති.

