brand logo
logo
පාසල් දරුවන්ට ඇඳුම් දන්සලක්

පාසල් දරුවන්ට ඇඳුම් දන්සලක්

24 February 2023 | සිරිසේන ගමගේ - කොළොන්නාව

නිමි ඇඳුම්, බෑග් සහ පාවහන් සේල් රට පුරා විවිධ කාලවලදී පැවැත්වෙයි. සේල් එකක් කියූ සැනින් අප සැමට සිහිපත් වන්නේ මිල අඩු ලස්සන දෑ එක වහලක් යට තිබෙන තැනක්ය. ඒත් මේ කියන්නට යන සේල් එකේ සියලු බඩු බාහිරාදිය සියල්ල ලබා දුන්නේ නොමිලේ ය.


මෙය ඇඳුම් සහ පාවහන් දන්සලක් යැයි පැවසුවහොත් නිවැරදිය. මේ අපූරු දන්සල පැවත්වුණේ කොළොන්නාව ශාන්ත ජෝශප් විද්‍යාලය පරිශ්‍රයේදීය. ඒ පාසල් දරුවන් වෙනුවෙන්ම සංවිධානය වූ දන්සලකි.


මෙය සංවිධානය කෙරුණේ දරිද්‍රතාවයෙන් පිරි දරුවන් ඉලක්ක කරගෙනය. මෙම දන්සල විදුහල්පතිනි දීප්ති මොල්ලිගොඩගේ අලුත් සංකල්පයක් වූවාය.


ඒ සඳහා විදුහල්පතිනියගේ ස්වාමිපුරුෂයා වූ බුද්ධික සිය මිතුරන් මාර්ගයෙන් ඇඳුම් පැලඳුම්, පාවහන් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන ආවේය. තවත් කිහිප දෙනකුම මේ සඳහා විවිධ පරිත්‍යාග ලබා දී තිබුණහ.


“අපි අපේ ඉස්කෝලේ ඉන්න පොඩි එවුන් කැමති කැමති විදිහට ඇඳුම් පැලඳුම් මේ සඳහා ගෙන්වා ගත්තා. සමහර පොඩි අය පුදුම ආසාවකින් තමා බඩු තෝරගන්න ආවේ. ඒ අයගෙන් සමහරු මේ දන්සලෙන් ගත්තු ඇඳුම් ඇඳගෙනම ගෙවල්වලට ගියා. ඒ අම්මලාව පුදුම කරන්න කියලා. සමහරු ගෙදර ඉන්න චූටි නංගියට, මල්ලියටත් පුංචි මොනවා හරි අරගෙන ගියා. හරි දුප්පත් ළමයි කොට්ඨාසක් තමා මේ පාසලේ ඉගෙනුම ලබන්නේ. මට ඊටත් වඩා වටින්නේ දරුවන්ගේ බෙදා හදා ගැනීම මේ හරහා වැඩිදියුණු වෙයි කියලා මම ගොඩක් දුරට විශ්වාස කරනවා. ඊටත් වඩා වටින්නේ දරුවෝ මේ දේවල් ගෙවල්වලට අරගෙන ගිය එක ගැනත් සතුටුයි. අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියෝ හරියට සතුටු වුණා කියලත් ආරංචි වුණා යැයි විදුහල්පතිවරිය අදහස් දක්වමින් කියා සිටියාය.විදුහල්පතිනිය ප්‍රථමයෙන්ම ගුරුවරියන් සමග එක්ව මෙම ඇඳුම් පැලඳුම් වර්ගීකරණය කළාය. ඒ ඒ වයස් කාණ්ඩයන්ට ගැළපෙන අයුරිනි. ඒ අනුව කමිස, කලිසම්, ගවුම්, බෑග්, පාවහන් පමණක් නොව, බෙල්ට් සහ ඔරලෝසුද ඒ අතර විය.මුලින්ම හ‍ය වසරෙන් ඉහළ දරුවන්ට පැමිණ තමන් කැමති ඇඳුමක් තෝරාගන්නා ලෙස විදුහල්පතිනිය කීවාය. දෙවැනි වටයේ සියලුම දෙනාට පැමිණ තමන් කැමති දෙයක් අරගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය. මේ අයුරින් ක්‍රියාත්මක වූ දන්සලේ විශේෂත්වය වූයේ කිසිම භාණ්ඩයක් ඉතිරි නොවීමය.


මීළඟ දන්සල, එහෙම නැතිනම් සේල් එක අවුරුදුවලට කලියෙන් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව විදුහල්පතිනි දීප්ති මොල්ලිගොඩ පවසා සිටියාය.

 

More News..