දෙරණ මහ පවුලට වසර 20 යි
12 October 2025 | ශිරෝමි රත්නායක
දෙරණ මහ පවුලට වසර 20 යි
12 October 2025 | ශිරෝමි රත්නායක
දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා දිනක් අවමංගල උත්සවකයේ දී පුදුමය දනවන කතාවක් කළේය. ඒ සිය මාධ්‍ය ආයතනයේ සේවකයකු වූ කල්ප නිෂාන් පෙරේරා මිය යාම හේතුවෙනි. කල්පගේ දෙමව්පියන්ට සිටියේ කල්ප පමණි. මේ නිසාම කල්ප මිය යෑමත් සමග දෙමව්පියන් තනි විය. මේ ගැන සිතූ මාධව මඩවල මහතා එම ආමංගල්‍යය දිනයේදී මෙසේ කීවේය.
"අපි අදහන ආගම දහමට අනුව මට කියන්න තියන්නේ කාරණා දෙකයි. එකක් මෙවන් අකල් මරණයක් මතු අත්භවයක අත් නොවේවා කියලා පින් දහන් අනුමෝදනා කිරීම. අනෙක් කාරණය මියගිය දරුවා වෙනුවෙන් ඔහුගේ අම්මයි තාත්තවයි අපි හැමදාටම බලා ගැනීම පමණයි. ඒ දෙමාපියන් මැරෙනකන් අපි බලාගන්නවා. අම්මටයි, තාත්තටයි ඒ දරුවාගේ පඩිය ඉදිරියටත් ඒ විදියටම දෙනවා".
මේය සිදු වුණේ මීට අවුරුදු දහනවයකට පෙරයි. දෙරණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල එදා එබඳු පොරොන්දුවක් දෙන විට එය අද මෙන් දියත පතලා කීර්තියක්ද, ලංකාවේ අංක එකේ රූපවාහිනී නාළිකාවද වී සිටියේ නැත. එය යාන්තම් පා ඔසවමින් වැටෙමින් නැගිටිමින් යන්නට පටන් ගත්තා පමණය.’’ අපිට ඕනෑ කළේ මිනිස්සු. අපිත් එක්ක ඉන්න මිනිස්සු බලාගන්න. රටේම මිනිස්සු බලාගන්න ඔවුන්ට පිහිට වෙන්න මනුසත් දෙරණ ආවේ ඉන් පසුවය. රටට බෙදන මනුෂ්‍යත්වය දෙරණ ඇතුළේද තිබෙයි.
ඒ නිසාම දෙරණ මාධ්‍ය ජාලය පොදු ජනතාව වෙනුවෙන් සේවය කරනවා සේම සිය ආයතනයේ සේවකයන්ට අම්මා තාත්තා වී හමාරය. පොදු ජනතාව වෙනුවෙන් මනුසත් දෙරණ ක්‍රියාත්මක කරන දෙරණ මාධ්‍ය ජාලය දෙරණ ඇතුළේදී ඊටත් එහා ගොස් ක්‍රියාත්මක කරයි. මේ පිළිබඳ දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා සිය අතීත මතක ආවර්ජනය කළේය.
‘‘අපේ මාධ්‍ය ජාලය ආරම්භ කරද්දි අපේ ව්‍යවසායක ප්‍රධානියා වුණ දිලිත්ගේ ඒ අරමුණ ඉෂ්ට වෙලාද කියල වසර විස්සකට පස්සේ බලන්න අවශ්‍ය වෙනවා. අපි මෙම මාධ්‍ය ආයතනය ආරම්භ කරද්දී තිබුණේ විවිධ අයිතිකරුවන්ගේ දේශපාලන මත පිහිටලා වැඩ කළ මාධ්‍ය ආයතන පමණයි. රට ගැන හිතලා වැඩ කරපු මාධ්‍ය ආයතන තිබුණේ නැහැ. මෙහිදී දිලිත් ජයවීරටත් සහ වරුණි අමුණුගමගමටත් අවශ්‍ය වුණා රට වෙනුවෙන් පෙනී සිටින, රටේ සභ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටලා රට වෙනුවෙන් වැඩ කරන ඇත්ත ඇති සැටියෙන් කතා කරන රටේ නාළිකාවක් බිහි කරන්න. අවුරුදු විස්සක් ගියාට පස්සේ මේ ගැන හිතන විට මට හිතෙන්නේ අපි එම අරමුණ සාක්ෂාත් කරගෙන ඉවරයි කියලා. මොකද දෙරණ දැන් අපිට අයිති නැහැ. දෙරණ අද ජාතික නාළිකාවක් වෙලා ඉවරයි.
අපි රටේ තිබෙන මහා සභ්‍යත්වයේ මත පිහිටලා ආයතනය ඇතුළේත් එබඳු සංස්කෘතියකුත් බිහි කරලා තිබෙනවා. අපි මෙතන වැඩ කරන්නේ අපේ සේවක සේවිකාවෝ විදියට නෙමේ අපි වැඩ කරන්නේ පවුලක් විදිහට. ඉස්සර අපේ දෙරණ පවුල පොඩියි. දැන් දෙරණ පවුල ලොකුයි. අපේ පවුලේ කාට හරි කරදරයක් සිදුවුණොත් ගෙදරක අම්ම තාත්තා වගේම අපිත් මේ සියලු දෙනාම බලාාගන්නවා. මෙහි වැඩ කරන සේවක පිරිසක් පමණක් නෙමෙයි අපේ විවිධ වැඩසටහන්වලින් බිහිවෙන චරිතත් අපේ පවුලේ අයයි. ඒගොල්ලෝ හැමදාම අපිත් එක්ක ඉන්නවා.
අපේ ආයතනයෙ කෙනෙක් උදේ අවධි වුණාම වැඩට එන්න සතුටු හිතෙන තැනක් බිහිකිරීම දිලිත් ජයවීර මහතාගේ සංකල්පයක්. අපේ සේවක පිරිස උදේට සතුටෙන් නැගිටලා සතුටින් වැඩට ඇවිල්ල තමන් කරන වැඩ කරන්නේ. ඔවුන් දන්නවා ඔවුනට නිසි ගෞරවය ලැබිලා වැඩ කරන්න පුළුවන් තැනක් කියලා. දෙරණේ වැඩ කරන හැමෝම නිතරම කියන දෙයක් තමයි අපි මැරුණත් බය නැහැ. අපේ පවුල දෙරණ බලාගන්නවා කියන කාරණය. ඒ වගේම තමයි අපි හැමෝම සහයෝගයෙන් වැඩ කරනවා. ලක්සිරි වික්‍රමකගේයි, මමයි බොහෝම සහයෝගෙන් වැඩ කටයුතු කරගෙන යනවා.’’
දෙරණ මාධ්‍ය ජාලය සිය සේවකයන් බලාකියා ගැනීම පිළිබඳව හොඳම සාක්ෂිය වන්නේ රොෂාන් ජයසිංහයි. ඔහු දෙරණ මාධ්‍ය ජාලය ආරම්භ කළ දා සිටි සේවකයෙකි. පැරණිතම සේවකයාය. දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර මහතාගේ වැඩි අයිතියක් ඇත්තේද ඔහුට බව ආයතනයේ ඉහළ නිලධාරීන් පවා කියයි. ආයතනය තුළදී දිලත් මහතාගේ තේ එකේ සිට සියලු කෑම බීම සැකසෙන්නේ රොෂාන් අතිනි.
"මම රැකියාවට එකතු වෙන්නේ දෙදහස් පහ වසරේ සුළු සේවකයෙක් විදිහට. මුලින්ම අපේ ඔෆිස් එක තිබුණේ රාජගිරියේ. ටික දවසකින් තමයි ආයතනය තේ හදන රැකියාව මට ලැබුණේ. ඉතාම කුඩාකාමරයක තේ හදන්න පටන් ගත්ත මම අද තරු පහේ හෝටලයක් වගේ කිචන් එකක තේ හදනවා. හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්ෂ මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා, මෛත්‍රිපාල සිරිසේන මහත්තයා වගේ බොහෝ දෙනෙක් මම හදන තේ එක බීලා තියෙනවා. ඒ වගේම තමයි බොහෝ මැති ඇමැතිවරු, විද්වත්තු, ව්‍යාපාරිකයන් මේ හැමෝම මගේ තේ එක රස බලලා තියෙනවා. මම මුලින්ම හැදුවේ ආයතනයට තේ හතළිහයි. නමුත් අද එක තේ වේලකට කිරිපිටි කිලෝ පහක් තේ හැදෙනවා. මම ජීවත් වුණේ ආණ්ඩුවේ ඉඩමක පොඩි නිවසක. ඒකේ ලයිට් වතුර තිබ්බෙ නැහැ. පොදු ටැප් එකෙන් තමයි අපි වතුර පවා ගත්තේ. අපි රෑට චිමිනි ලාම්පුව පත්තු කරගෙන තමයි හිටියේ. මගේ මේ ගෙදර දැකලා මාධව මහත්තයා තමයි කිව්වේ රොෂාන් ඔයා ඔතන හිටියොත් ලෙඩ වෙනවා. ටික කාලෙකට කුලියට යමු. ඊට පස්සේ ගෙයක් හදමු කියලා. මට කඩුවෙල නවගමුවේ අංග සම්පූර්ණ ගෙයක් හදලා දුන්නා. මට ඒ ගෙදරට අරන් යන්න තියෙන්නේ මගේ ඇඳුම් කැඩුම් ටික විතරයි. අනිත් හැමදේම ආයතනය විසින් ලබා දුන්නා. දවසක් මාධව මහත්තයා මට කිව්වා රොෂාන් දැන් කාලෙ හරි ඔයා කසාදයක් බඳින්න කියලා. ඊට පස්සේ මම කසාද බැන්දා. ආයතනය ලොකු හෝටලයක මඟුල් ගේ ගත්තා. මට කිසිම දෙයක් වියදම් කරන්න තිබ්බේ නැහැ. මේ මම රස්සාවට ඇවිල්ලා සතියක් විතර යනකම් මේ වැඩ කරන්න තේරුනේ නැහැ. එතන හිටියා සිකියුරිටි මුණේ අයියාට මම කිව්වා මට නම් මේක කරන්න බෑ කියලා. නමුත් එයා මට එක දෙයක් කිව්වා. ඔයා ඉන්න මල්ලි ඔයාට මෙහෙන් හරියනවා කියලා. එක පාරක් නෙමෙයි දෙපාරක්ම ඒ අයියා කිව්වා. ඇත්තටම ඒ අයිය කිව්ව දේ හරි. ආයතනය අද මාව බලා ගන්නවා. මම මේ ආයතනයට එද්දි තිබ්බෙ මට තිබුණේ ඇඳුම් දෙකයි. අද වෙනකොට මට ලෝකේ හොඳම බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්න පුළුවන් වෙලා තිබෙනවා."මියැදුනු පසු තමන්ගේ යැපෙන්නන්නට සිදුවන්නේ කුමක්ද කියා තිබෙන බිය දෙරණ පවුලට අන් අයට සාපේක්ෂව මදකට හෝ අඩුය. ඒ දෙරණ පවුලේ අයකු මියගිය විට දෙරණ ආයතනය එම පවුලේ සාමාජිකයන් බලා ගන්නා නිසාය. එය දෙරණ විසින් ඔප්පු කර හමාරය. කල්ප නිෂාන් පෙරේරා නිෂ්පාදන අංශයේ සේවය කළ අයෙකි. ඔහු රාජකාරිය නිමකර අත්තිඩියේ නිවෙස වෙත සිය මෝටර් බයිකලයෙන් යන අතරතුර සිදු වූ අනතුරකින් මිය ගියේය. ඔහු මිය ගිය පසු ඔහුගේ දෙමාපියන් අසරණ විය. ඔහු පවුලේ එකම දරුවාය. දෙමාපියන් මිල මුදලින් මෙන්න පාලුව තනිකමින් ඔවුහු අසරණ වූහ. එදා සිට අද දක්වාම වසර දහනමයට අධික කාලයක් දෙරණ ආයතනය එකී දෙමාපියන් බලා කියා ගනී.
"පුතා මිය ගිය දවසේ ඉදලා පුතාගේ පඩිය මට හැම මාසයකම දෙරණ ආයතනය ලබා දෙනවා. අද වන විට මගේ මහත්තයත් ජීවතුන් අතර නැහැ. ඒ නිසාම මේ ලබා දෙන මුදල මට රටක් වටිනවා. දෙරණ ආයතනයට මම බුදුන් වැඳලා හැමදාම පින් දෙනවා. අද මම පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල. ඉස්සර හිටියේ අත්තිඩියේ. ඒ දවසිවල මගේ ගෙදර උඩු මහලේ මම පුස්තකාලයක් පවා විවෘත කළා. දෙරණ ආයතනයත් ඊට උදව් කළා. නමුත් මට ඒ ගෙදර විකුණන්න සිදුවුණා. මම ඒ පුස්තකාලය ගාල්ලේ පන්සලකට පරිත්‍යාග කළා. මට දුකක් කරදරයක් ආපු හැම හොහොතකම මම ලක්සිරි වික්‍රමගේ මහත්තයාට කතා කරනවා. එතුමා මට දරුවෙක් වගේ පිහිට වෙනවා. මඩවල මහත්තයාත් ෂර්මිලා මිසුත් මට කතා කරලා මගේ දුක සැප හොයනවා. ඒ විශ්වාසය මට තිබෙනවා."
කල්පගේ මවට පමණක් නොව ආයතනයේ මිය ගිය සාමාජිකයන්ගේ දරුවන්ටද ආයතනය විසින් ඉගෙනීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීම සිරිතය. දෙරණට කවුරුත් පොදුය. දෙරණ මාධ්‍ය ආයතනයේ සිටින ප්‍රවීණ ජේ්‍යෂ්ඨ නිවේදිකාවක් වන අද දෙරණ සාමාන්‍යධිකාරී වසන්ති නායනායක්කාරද උදෑසන කාර්යාලයට එන්නේ ඉතාම සතුටු සිතිණි.
"ලංකාවේ ප්‍රධාන පෙළේ නාළිකාවක අවුරුදු අටක් සේවය කරලා එතැනින් ඉවත් වුණා. මම ඒ වෙනකොට එම නාළිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරමින් සිටියේ. මම දෙරණට ඉන්ටර්විව් එකට ආපු දවසේ මට හිතුණේ මේක මොකක් වෙයිද කියන ප්‍රශ්නය විතරයි. දෙරණ ඒ දවස්වල තිබුණේ මෙතන නෙමේ රාජගිරියේ. විධායක අධ්‍යක්ෂක වන මාධව මඩවල මහත්තයා මාව සම්මුඛ පරීක්ෂණය කළ ආකාරය ගැන හිතලා මම තීරණය කළා මෙම ආයතනයට සම්බන්ධ වෙනවා කියලා. දිනක් අපිට මේ මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා වන දිලිත් ජයවීර මහත්තයා මෙන්න මෙහෙම කිව්වා.
"ඕගොල්ලන්ට මේ තැන හදල දෙනවා. ඒක ආදරෙන් බලා ගන්න. මේක උප සංස්කෘතියක් නෙමේ මේක මහා සංස්කෘතියක්. මේ සංස්කෘතිය ඇතුලේ ඕගොල්ලෝ අරගෙන යන්න ඕන එකම එක දෙයයි. ඒ තමයි අපි දේ රැකගෙන අලුත් දේ අරගෙන ඕගොල්ලෝ ලෝකෙට යන්න ඕන. දෙරණ කියන මාධ්‍ය සැකසීමේ අරමුණ ඒකයි. කිසිම විදිහකින් මම ප්‍රවෘත්ති අංශයට ඇඟිලි ගහන්නේ නැහැ. ප්‍රවෘත්ති හැඬ්ල් කරන්න යන්නේ නැහැ. මහජනතාවට හොඳ දේ දෙන්න. ඒ දේ පමණයි මම බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි දවසෙ වෙච්ච ඒ පොරොන්දුව එතුමා අදටත් ඒ විදිහටම රකිනවා. අපි තේ එකක් බොන වෙලාවට ජයවීර මහත්තයා ඇතුළු පිරිස ආවොත් ඒ අයත් අපි බොන තේ එක, අපි බොන තේ කෝප්පයෙන්ම බොනවා.
අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දොරවල් හැම මොහොතෙම විවෘතයි, මෙතන තේ හදන සේවකයාගේ ඉඳලා ඉහළම සේවකයා දක්වා ඕනෑම වෙලාවක ගිහිල්ලා, අධ්‍යක්ෂ මණ්ඩලයේ අය මුණ ගැසීමේ හැකියාව තිබෙනවා. මට වරක් ආයතනයේ හොඳම සේවකයාට ලැබෙන සම්මානය වන මාධව ගණේගොඩ සම්මානය ලැබුණා. මාධව ගනේගොඩ කියන්නේ දෙරණ ඉඳලා මියගිය අපේ සහෝදර සේවකයෙක්. එම උත්සවයට ආව දිලිත් ජයවීර මහත්මයාගේ බිරිය වන නෙළුම් ජයවීර මහත්මිය. මම ඒ සම්මාන ගත්ත වෙලාවේ ස්ටේජ් එකේ ඉඳලා මගේ දියණිය ගැන කියලා රෝගී තත්ත්වයෙන් ජීවත්වන ඇයට ස්තුති කරා ඒ සම්මානයට. ඒ වෙලාවේ එතුමිය මගේ දියණිය ගැන දැනගෙන හිටියේ නැහැ. මම සම්මානය අරගෙන ස්ටේජ් එකෙන් බැහැලා එද්දි නෙළුම් ජයවීර මහත්මිය මගේ ඉස්සරහට ඇවිල්ල මාව බදාගෙන මෙන්න මෙහෙම කිව්වා. "වසන්ති ලෝකෙ කොහේ හරි තැනක ඔයාගේ දුවව හොඳ කරන්න පුළුවන් කියලා ඔයා දන්න තැනක් තියෙනවා නම් ඔයා මට කතා කරන්න". මගේ දරුවා වෙනුවෙනුත් මට ලොකු පහසුකම් මෙම ආයතනයේ සපයලා දීලා තියෙනවා.
වසන්ති නානායක්කාර අද සිටින්නේ ඇය මීට විසි වසරට පෙර සිටි තැන නොවේ. ඇය අද එදා මෙන් පාරේ බස් රථයේ හෝ සැමියාගේ බයිසිකලයේ රාජකාරියට නොපැමිණෙයි. ඇය අද එන්නේ ඇගේම මෝටර් රථයකය. අවසානයේ ඇය අපට කිව්වේ හරිම අපූරු කතාවකි.
"මම ඉතාම ප්‍රකට නාළිකාව සේවය කළා . ඒ අවුරුදු අටම මම සේවයට ආවේ බස් එකේ නැත්නම් මගේ ස්වාමිපුරුෂයත් එක්ක බයිසිකලේ. අපි දෙන්නට තිබ්බ වාහනේ ඒක තමයි ඒ කාලේ. එදා එහෙම ආව මම අද මම සුඛෝපභෝගී වාහනයක යනවා. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රි කෙනෙක් දිලිත් ජයවීර මන්ත්‍රිතුමාට අභියෝග කළා බයිසිකලෙන් විශ්වවිද්‍යාලයේ ගිය දිලිත් සුඛෝපභෝගී වාහනයක යන්නේ කොහොමද කියා හොයන්න ඕනෑ කියලා . ඇත්ත අද මගේ බොස් දිලිත් ජයවීර මහත්තයා ඇවිල්ලා මෙතන සුඛෝපභෝගී වාහනයකින් බහිනවා. එදා බයිසිකලයෙන් වැඩට ආව මමත් ඔහුගේ වාහනයට පිටිපස්සේ ඇවිල්ල මගේ සුඛෝපභෝගී වාහනේ නවත්තනවා. බොස්ට වාහනේ යන්න පුළුවන් වගේම අද මටත් වාහනයකින් යන්න පුළුවන් වෙලා තිබෙනවා."

