brand logo
logo
වකුගඩු රෝගියකුට උචිත ආහාර - විහරණ

වකුගඩු රෝගියකුට උචිත ආහාර - විහරණ

21 January 2025 | කුමු

වැරැදි අහාර පරිභෝජනය ඇතුළු අයහපත් ජීවන රටාව හේතු කොටගෙන ඉහළ ගොස් ඇති බෝ නොවන රෝග අතර වකුගඩු රෝගීන් ප්‍රමාණයද ඉහළ යමින් තිබේ.

වකුගඩු රෝගී වූ විට ගැනීමට සුදුසු සහ නුසුදුසු නැත්නම්, පාලනයකට ලක් කළ යුතු ආහාර ඇත.

මේ කතා කරන්නට යන්නෙ එබඳු අහාර ගැනය.


වකුගඩු සහ ප්‍රෝටීන්

වකුගඩු රෝගීන්ගේ සිරුරේ පැවැත්ම පවත්වා ගෙන යාම සඳහා ප්‍රෝටීන් අත්‍යවශ්‍යය.

එහෙත් ප්‍රමාණය ඉක්මවා ප්‍රෝටීන් ශරීරගත වුවහොත් වකුගඩු තවදුරටත් හානිවීම වැළැක්විය නොහැක්කකි.

එබැවින් ප්‍රෝටීන් මෙන්ම අනිකුත් පෝෂණ ද්‍රව්‍යද සිරුරට ලබාගත යුත්තේ පාලනයකින් යුතුවය.

වකුගඩු රෝගයේ තිබෙන තවත් ගැටලුකාරී තත්ත්වයක් වන්නේ ප්‍රෝටීන් වැඩිපුර ලබා දීමේදී වකුගඩුවලට හානිවන අතර ප්‍රෝටීන් අඩු වීමේදී සිරුරේ තිබෙන මාංශ පේශී දියවී රෝගියා දුර්වලවීමයි.

එවිට ප්‍රතිශක්තිකරණයද අඩු වේ. මේ හේතුව නිසා වෙනත් රෝග වැලඳීමටද ඉඩ ඇත.

වකුගඩු අදියර 4 -5 සිටින රෝගීන්ගේ පොටෑසියම් අධික ආහාර සීමා කළ යුතුය.

මුල් අවස්ථාවේ අදියර 1 -3 දක්වා : සමහර රෝගීන්ගේ - ආහාර පාලනය කළ යුතුය.


පොස්පරස් පාලනය කිරීම වැදගත්‍් වේ. 

මේ සඳහා කළ යුතු දෑ

සංතෘප්ත මේදය සීමා කිරීම - ලුණු ප්‍රමාණය අවම කිරීම. ලුණු දිනකට නිර්දේශිත ප්‍රමාණය නොඉක්මවීම.

ජලය නිසි ප්‍රමාණයට පානය කිරීම හා පානීය ජලයට අමතරව පාන වර්ගවලින් සිරුරට එකතු වන ජලය පිළිබඳ සැලකිලිමත් වීම.

අවශ්‍ය පමණට විටමින් ඛනිජ ලවණ (SUPPLEMENT) වර්ග ලබා ගැනීම.


විශේෂයෙන්ම රෝගියාගේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය අධික වේ නම් පොටෑසියම් අධික ආහාර අවම කළ යුතුය.


ලුණු සහිත ආහාරවලින් 

වැළකිය යුතුය.

වෙළෙඳපොළේ ඇති පොටෑසියම් සහිත ලුණු ආදේශක ද්‍රව්‍ය මෙන්ම හර්බල් සප්ලිමන්ට් වර්ග සහ ඖෂධ වර්ග ගැනීමද නැවැත්විය යුතුය.

ඇතැම් පලතුරු එළවළු වර්ගවල ඉහළ පොටෑසියම් ප්‍රමාණයක් ඇත.

සමහරවිට පොටෑසියම් අඩු ආහාර ඇතැම් රෝගීන් වැඩිපුර භාවිත කිරීම නිසාද සිරුරට ලැබෙන පොටෑසියම් ප්‍රමාණය අධික විය හැකිය.

පොටෑසියම් යනු ජලයේ දියවන ලවණයකි.

එබැවින් පොටෑසියම් බහුල ආහාර අනුභව කිරීමේදී එළවළු කුඩා කැබලිවලට කපා දස ගුණයක් පමණ ජලය දමා පැය 2ක් පමණ කාලයක් තැබිය යුතුය.

පොටෑසියම් ජලයේ දියවන බැවින් මෙලෙස කිරීමේදී පොටෑසියම් ප්‍රමාණය දියවී යයි.


පොටෑසියම් වැඩියෙන් පවතින එළවළු වේ නම් කුඩා කැබලිවලට කපා මිනිත්තු 5 -10 පමණ වේලාවක් තම්බා වතුර පෙරා ඉවත් කර ආහාරයට ගත හැකිය.


පොටෑසියම් අඩු එළවළු වර්ග

ගෝවා, ගෝවා මල්, කැකිරි, පිපිඤ්ඤා, රවුම් වම්බටු, බෝංචි, රතු ලූනු, සුදු ලූනු, පතෝල, වැටකොළු, ඇඹරැල්ලා (අමුවෙන් හොඳ නැත) පිසින ලද අඹරැල්ලා, කැරට් (අමුවෙන් හොඳ නැත) පිසින ලද කැරට්.


පොටෑසියම් අඩු පලතුරු

කොළ පැහැති ඇපල්, පෙයාස්, කිලෝ පේර, මිදි ගෙඩි 3ක් දිනකට අන්නාසි කෑල්ලක් දිනකට- වෙළෙඳපොළේ මිලදීගත හැකි ඇපල් යුෂ හොඳ නැත.

නමුත් නැවුම්ව නිවසේදී පිළියෙල කරගන්නා ඇපල් යුෂ භාවිතය හොඳයි.


පොටෑසියම් බහුල පලතුරු

ගස්ලබු, කෙසෙල්, අඹ, රටඉඳි, අල, බතල, අලු කෙසෙල්, නිවිති, තක්කාලි, වට්ටක්කා ආදියේ පොටෑසියම් වැඩි බැවින් ඒවා අගුණය.


පලා වර්ග

පලා වර්ගවල පොටෑසියම් බහුලව තිබෙන බැවින් රෝගීන්ට පලා වර්ගද සුදුසු නොවේ.


පොස්පරස්


රෝගීන්ගේ සිරුරේ පොස්පරස් ප්‍රමාණය වැඩි වූ විට රුධිරයේ පොස්පරස් ප්‍රමාණය වැඩි වී හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා අස්ථිවලින් කැල්සියම් රුධිරයට ඇතුළුවීම සිදු වී අස්ථි දුර්වල වීමට පටන් ගන්නා අතර රුධිරයේ කැල්සියම් වැඩි වීම නිසා කැල්සියම් හෘද වස්තුවේ සහ වකුගඩුවල තැන්පත් විය හැකිය.

පොස්පරස් කාබනික සහ කාබනික නොවන යනුවෙන් වර්ග දෙකකට අයත් වේ.

විශේෂයෙන් පලතුරු යුෂ කල් තබා ගැනීමේදී කාබනික නොවන (ඉන්ඕගනික් පොස්පරස්) අඩංගුව ඇත.

මේවා පානය කිරීමේ අවාසිය වන්නේ ලේවලට පොස්පරස් 


90% ක්ම උරා ගැනීමයි. තවද ධාන්‍ය වර්ගවල නිවුඩ්ඩ සහිත හාල්වලද පොස්පරස් ප්‍රමාණයක් ඇත.

නමුත් නිවුඩ්ඩ සහිත හාල් අනුභව කළ විට කාබනික නොවන (ඉන්ඕගනික්) පොස්පරස් රුධිරයට උරා ගන්නේ 40% - 60% දක්වා පමණි. වකුගඩු රෝගීන් ආහාරයට ගත යුත්තේ තම්බපු හාල්ය. හාල් තැම්බූ විට පොස්පරස් කොටස ඉවත් වේ.

සෝයා මීට්, සොසේජස්, මීට්බෝල්ස්, හතු වර්ග, කූනිස්සෝ, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවන් ආදියේ පොස්පරස් ප්‍රමාණය වැඩි බැවින් ආහාරයට නුසුදුසුය.

බියර් සහ සියලුම මත්පැන්වල පොස්පරස් අඩංගු බැවින් භාවිතය සුදුසු නොවේ.

කිරි වර්ග ආහාරයට ගන්නේ නම් නන්ෆැට් හා ලෝෆැට් කිරි ආහාරයට ගත යුතුය.

වකුගඩු රෝගීන්ට විශේෂිත වූ කිරි වර්ග වෙළෙඳපොළෙන් මිලදී ගත හැක.

වකුගඩු රෝගීන්ට ලුණු භාවිතය සුදුසු නොවේ. ලුණු සිරුරෙන් ඉවත් කෙරෙනුයේ වකුගඩුවලිනි.

නමුත් ලුණු ප්‍රමාණය ඉක්මවා ගත්විට සෝඩියම් ප්‍රමාණය වැඩි වේ.

එවිට සිරුර ඉදිමී, රුධිර පීඩනය වැඩිවීම මෙන්ම හදවතේ ක්‍රියාකාරීත්වය අවම වීමද වේ.

පළමු හා තුන්වැනි අදියරේ සිටින වකුගඩු රෝගීන්ට ලුණු තේ හැන්දක් සෑහෙන අතර අදියර 4-5 සිටින රෝගීන්ට ලුණු භාවිත කළ යුත්තේ තේ හැඳි 1, 2කි. සෝස්, මාමයිට්, සේවරි බිස්කට්, ක්ෂණික ආහාර වහා නවතා දැමිය යුතුය.

එසේම අච්චාරු, පොටේටෝ චිප්ස් වැනි ආහාර නුසුදුසුය.

කාමර උෂ්ණත්වයේ දියවන සෑම ආහාරයකම දියර ජලය පවතී.

නිද: ජෙලි, අයිස් ක්‍රීම්- එසේම ආහාර පිසින විට සාදන හොඳිවල - ජලය සහිත බැවින් ඒවායින්ද ජලය සිරුරට ලැබෙන බැවින් පානය කරන අමතර ජලය පිළිබඳ වඩාත් අවධානය යොමු කළ යුතු වේ.



ටී.එම්. නුවන්තිකා හර්ෂණී

ආයුර්වේද වෛද්‍ය (සර්වාංග)


 

More News..