විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට
26 July 2026
විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට
26 July 2026
නීතිවිරෝධිව මෙරටට රැගෙන එන ලද විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 40ක් වන මෙම සැකකරු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.
ඔහු සිය ගමන් මලු දෙක තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 40,200ක් අඩංගු දුම්වැටි කාටූන් 201ක් සගවා ගෙන පැමිණ ඇත.
අදාළ දුම්වැටිවල වටිනාකම රුපියල් හැට ලක්ෂ තිස් දහසක් වන බව සඳහන්ය.
මෙම සැකකරු අදාළ දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත" ඔස්සේ රැගෙන යාමට උත්සහ කර තිබේ.
එහිදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සිදු කළ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මොහුව අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

