brand logo
logo
විදුලි කප්පාදුවක් එන්නේ එල්නිනෝ නිසාද? බාල ගල්අඟුරු නිසාද?

විදුලි කප්පාදුවක් එන්නේ එල්නිනෝ නිසාද? බාල ගල්අඟුරු නිසාද?

01 September 2026


එල්නිනෝ තත්ත්වයෙන් රටට එල්ල වන බලපෑමත් සමග ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවීමට ඉඩ ඇතැයි මහජන උපයෝගිතා කොමිසම අනතුරු හඟවා දැන් ටික දවසකි. එක පැත්තකින් දැඩි වියළි කාලගුණයක් පවතින විට රටේ විදුලි අවශ්‍යතාව ඉහළ යන අතර අනෙක් පැත්තෙන් ජල විදුලි නිෂ්පාදනය අඩුවීමද සිදු වෙයි. විදුලිය කපාහැරීමක් සිදුවීමට ඉඩ ඇතැයි යන රතු එළිය දැල්වී ඇත්තේ ඒ අනුවය.


එහෙත් මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා නම් මේ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ ඊට වෙනස් අදහසකි. මහවැලි, වලවේ හා කැලණි ගංගාවල ජල ධාරිතාව යහපත් තත්ත්වයක පවතින බව ඔහු සංඛ්‍යා ලේඛන ගෙන හැර දක්වමින් ප්‍රකාශ කර තිබේ. එහෙයින් විදුලි කප්පාදුවක අවදානමක් උද්ගත නොවිය හැකි බව ඔහුගේ අදහසයි.


එල්නිනෝ තත්ත්වයෙන් මතුවිය හැකි ගැටලු ගැන ආණ්ඩුවේ නිලධාරීන් සුබදායක අදහස් ප්‍රකාශ කිරීම සතුටට කරුණකි. එහෙත් විදුලි බලය පිළිබඳ අධිකාරිය හැටියට සැලකිය හැකි මහජන උපයෝගිතා කොමිසම මෙහිදී වෙනත් අදහසක් ප්‍රකාශ කිරීම ගැටලුවකි. රට පුරා ගොවීන් නියඟය නිසා සිය වගා පාළුවී ඇති බව කියා සිටිද්දී නියඟයෙන් වගාවන්ට සිදුවී ඇති හානිය අවම මට්ටමක පවතින්නේ යැයි කෘෂිකර්මය භාර ඉහළ පෙළේ ප්‍රධානියෙක් කියා සිටීමද මෙවැනි සංසිද්ධියකි.


එල්නිනෝ පසෙක තිබියදී නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට බාල ගල්අඟුරු නැව් දහනවයක් ගෙන්වීමෙන් රටේ විදුලිබල නිෂ්පාදනයට විශාල බලපෑමක් සිදුවූ බව කිසිසේත් වසන් කළ නොහැකි කාරණාවකි. මේ අවුරුද්දේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා වූ කාලසීමාවේදී ඉහත බලාගාරය නිෂ්පාදනය කළ යුතු මෙගවෝට් 300 ක ධාරිතාව ලබාගත නොහැකි වූයේ මේ බාල ගල්අඟුරු යොදා ගැනීමට සිදුවීම නිසාය. අවසානයේදී අවශ්‍ය විදුලිබල ධාරිතාව නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් මිලියන 8536 ක ඉන්ධන යොදාගැනීමට සිදුවූයේය.


2025 වසරේදී රටට ඉන්ධන ගෙන්වීම සඳහා වැයවූ ඩොලර් මිලියන 1995 වෙනුවට 2026 ජනවාරි සිට ජූනි දක්වා වන හය මාසයේදී පමණක් ඩොලර් මිලියන 3168 ක් වැය වූයේ හුදෙක් බාල ගල් අඟුරු ගෙන්වීමෙන් මතුවූ ප්‍රශ්නය නිසාය. සිදුවූ අක්‍රමිකතාව සෙවීමට පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවට ආණ්ඩුව කළේ 2009 සිට 2026 දක්වා මෙරටට ගල්අඟුරු ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා ගැන සෙවීමට කොමිසමක් පත්කිරීමය. අපේ රටේ කවර ආණ්ඩුවක් වුවත් කොමිෂන් සභා පත්කරන්නේ ප්‍රශ්නයක් යටගැසීමටය යන කාරණය මෙහිදීද ඔප්පු විය.


එපමණක්ද නොවේ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රසිද්ධ රැස්වීමකදී කියා සිටියේ ඉකුත් ආණ්ඩු සමයන්හි ගල්අඟුරු ගෙන්වූ අවස්ථාවල සිදුවූ දූෂණ හා වංචා කොමිසම මගින් හෙළිදරව් කරගනු ඇති බවයි. ආණ්ඩුවේ පරමාර්ථය සිය ආණ්ඩු කාලයේ කෙරුණු දූෂණය හෙළි කරගැනීම නොවන බව ඒ කතාවෙන් වැඩිදුරටත් ඔප්පු වූයේය.


බාල ගල්අඟුරු ගෙන්වීමෙන් අඩාළ වූ විදුලිබල නිෂ්පාදනය යථාවත් කරගැනීම සඳහා ඉන්ධන ගෙන්වීමේදී රටට සිදුවූ විශාල අලාභයක්ද මෙහිදී රටට හෙළිදරව් විය. ඒ මාර්තු මාසයේ අවසානයේ හා අප්‍රේල් මාසයේ මුලදී රටට ගෙන්වූ ඉන්ධන නැව්වලට ගෙවා ඇති ඩොලර් මිලියන 288 සිට 281 දක්වා වූ මිල ගණන් ඉතා අධික අගයක් ගත් බව දැනගන්නට ලැබීමය. HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් පෙන්වා දුන් පරිදි ඉරාන යුද සමයේදී ඉහළම මිලක් ගෙවා ඉන්ධන ආනයනය කර ඇත්තේ ශ්‍රී ලංකාවය.


විදුලි කප්පාදුවක් සිදුවේ යැයි යන කාරණය මතුපිටට පැමිණීම වැළැක්වීමට ආණ්ඩුව කටයුතු කිරීම තේරුම් ගත හැක්කකි. ඒ දේශපාලනයයි. එහෙත් ජාතික ජන බලවේගය බලයට පැමිණීමට පෙර සපථ කළේ තමන් විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බවයි.


රටට ඉදිරියේදී විදුලිබල කප්පාදුවකට මුහුණදීමට සිදුවුවහොත් එය රටේ ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපානු ඇත. රටේ නිෂ්පාදනය අඩුවීම, භාණ්ඩ මිල ඉහළ යෑම හා අපනයන දුර්වල වීම ඒ නිසා සිදුවීම වැළැක්විය නොහැකිය. රට අගාධයකට ඇද දමන එවැනි තත්ත්වයකට හේතුවන්නේ එල්නිනෝ පමණක් නොවන බව ඉහත කරුණුවලින් පැහැදිලිය.


බාල ගල්අඟුරු ගෙන්වීමෙන් රටේ විදුලිබල නිෂ්පාදනය කල්තබාම අවදානම් කලාපයකට ගෙනයෑම සිදුවූයේ ආණ්ඩුව දැනුවත්වය. දූෂණය පිටුදැකීමට බලය ඉල්ලූ කණ්ඩායම, මෙහිදී සිදුවූ දූෂණය යටපත් කිරීමට කටයුතු කිරීමෙන් පෙනී ගියේ මීට කලින් රට කරවූ පිරිස්වලට වඩා ඔවුන් නොවෙනස් බවය. දැන් විදුලි කප්පාදුවක් සිදුවේ යැයි යන කාරණය ඔවුන්ට යට ගැසීමට සිදුවී ඇත්තේ තමන්ද ඊට දායක වී ඇති නිසාය.

 

More News..