හිටපු තේරීම් කමිටුවේ 4කට පරිවර්තන කමිටුවෙන් සැලකුම්
03 August 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
හිටපු තේරීම් කමිටුවේ 4කට පරිවර්තන කමිටුවෙන් සැලකුම්
03 August 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු තේරීම් කමිටුව, ඔවුන්ව ඉවත් කිරීමට එරෙහිව නීතිය ඉදිරියට යෑම වළක්වාලීම පිණිස, ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් එහි (සභාපතිවරයා හැර) සෙසු සාමාජිකයන් සිව්දෙනා වෙත රුපියල් ලක්ෂ 120ක පමණ මුදලක් ගෙවා ඇතැයි සැලවේ. හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත්කිරීමේදී නිසි පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් මෙලෙස ඔවුන් වෙත මුදල් ලබාදීමට සිදුව ඇති අතර මෙම මුදල්වලට අමතරව ඔවුන් අතරින් සමහරෙක් හට ක්‍රිකට් ක්ෂේත්‍රයේ තනතුරු ආදිය ද පිරිනමා, ඒ අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර නොගන්නා බවට ඔවුන්ගේ අත්සන සහිත ලිපි ද ලබාගෙන ඇතැයි වාර්තා වේ.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝදන් ජෝන් සහ රසාංජලී ද අල්විස් සෙසු සමාජිකයන් ලෙසින් සිටි හිටපු තේරීම් කමිටුව දෙවසරක ධුර කාලයක් සඳහා 2025 දෙසැම්බර් 16 වැනිදා පත්වූ අතර වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුව පත්වීමෙන් අනතුරුව 2026 මැයි 21 වැනිදා කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුක් පත්කිරීමට යෙදුණි. නමුත් නව තේරීම් කමිටුව පත්කිරීමට මත්තෙන් හිටපු තේරීම් කමිටුව ඉවත් කිරීමට අදාළ සාධාරණ කරුණු දැක්වීමක් හෝ අදාළ නිසි පියවර අනුගමනය කිරීමක් සිදුව නැති බවටද වාර්තා පළවිණි.
අනතුරුව හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජික ඉන්දික ද සේරම් විසින් තමන්ව අත්තනෝමතිකව ඉවත් කිරීමට එරෙහිව වන්දි ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එන්තරවාසි එවා තිබිණි. මෙම තත්ත්වය මධ්‍යයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් හිටපු තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් සිව් දෙනා සමග එකඟතාවයට පැමිණීම පිණිස සාකච්ඡා කිරීමේදී ඔවුන් විසින් තමන් හට මාස 6ක වැටුප වන්දියක් ලෙසින් අවශ්‍ය බව පවසා තිබිණි. නමුත් අවසානයේ මසකට රුපියල් ලක්ෂ 8 බැගින් මාස 4ක වැටුපක් ලබාගැනීමට එකඟතාව පළව ඇත. ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 32ක් බැගින් ගෙවිය යුතු වූ අතර සියයට තිහක් වන රජයේ බදු මුදල අයවීමෙන් පසු මසකට රුපියල් ලක්ෂ 6ක පමණ වන සේ ඒ එක් අයෙකුට රුපියල් ලක්ෂ 24ක මුදලක් පිරිනමා තිබේ. මේ අතර තරංග පරණවිතාන වෙත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සහ විනෝදන් ජෝන් වෙත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ තනතුරුද පිරිනැමීමට කටයුතු සිදුවිය.
එසේ වුවද හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා එකඟතාවක් පිණිස මෙවැනි කිසිදු සාකච්ඡාවක් සිදු ව ඇති බවක් වාර්තා නොවේ.

